dilum-election-commision

සෙවණගල සීනි සමාගම උක් ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කරන මුවාවෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ගෙන්වා ඊයේ (05) පැවැත්වීමට සූදානම්වූ බව කියන දේශපාලන රැස්වීම් කිහිපයක් මොනරාගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී පසන් රත්නායක මහතා විසින් වහාම නතර කරනු ලැබීය.සමාගමේ පිරිසක් මීට දින කිහිපයකට පෙර

උක් ගොවීන්ගේ නිවෙස්වලට ගොස් ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා පැමිණෙන බැවින් ඒ සඳහා අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු බව දන්වා ලිපි බාර දී තිබූ බව කියති.



ගොවීන් පිරිසක් මේ පිළිබඳව මැතිවරණ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා එම පියවර ගත්තේය.මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී පසන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මෙම රැස්වීම් පැවැත්වීමට අවසර ඉල්ලූ අවස්ථාවේ මේ මොහොතේ එය හදිසි අවශ්‍යතාවක් නොවන බව පෙනී ගිය හෙන් එම රැස්වීම් ඡන්දයෙන් පසු පවත්වන ලෙස ඔවුන්ට දැනුම් දුන් බවයි. රැස්වීම් නතර කිරීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කිරීමත් සමගම සීනි සමාගමේ පිරිසක් යළි තමන් අමතා එම රැස්වීම් සඳහා පැමිණීමට අවශ්‍ය නොවන බව දැනුම් දුන්නේයැයි ගොවීහු පිරිසක් පැවැසූහ.

 කේ.පී. සුමනදාස