duminda-nagamuwa-speaks

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇති ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම ඉන්දියාව විසින් සිය ආධිපත්‍යයට ගෙන ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.



එම අපේක්ෂකයන් තිදෙනා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායකයි.



ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පසුගියදා ඔවුන් තිදෙනා සමගම සාකච්ඡා පවත්වා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ දී ඊයේ (11 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් දුමින්ද නාගමුව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.

‘‘විශේෂයෙන් සමගි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය කිසිම දෙයක් මේ ගැන කියන්නේ නෑ. බංග්ලාදේශයේ ඇතිවෙලා තියන තත්ත්වයම තමයි මේගොල්ලො ලංකාවටත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ලංකාවට යෝජනා කරල තියෙන්නේ දැන් මෙගාවෝට් විසිදහසක පමණ දැවැන්ත විදුලි ව්‍යාපෘතියක්. හැබැයි ලංකාවේ බලශක්ති අවශ්‍යතාව පවා තියෙන්නෙ මෙගාවෝට් දෙදහසක් පමණ. එහෙම තියෙද්දි තමයි මෙච්චර ලොකු ව්‍යාපෘතියක් ඉන්දියාවට පවරන්න බලාගෙන ඉන්නෙ.

පහුගිය කාලේ ඉන්දියාවෙ ඉඳලා ලංකාවට තෙල් නළයක් දාන්න කතා කරනවා. දැනටමත් ලංකාවේ පිරවුම්හල් විශාල ප්‍රමාණයක් IOC සමාගමට ලබාදීලා තියෙන්නෙ. ඒ අතරේ ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සියල්ල ඉන්දියාවට පවරන්න යෝජනා වෙලා තියනවා. ලංකාවේ ආණ්ඩු බලය ගන්න බලාගෙන ඉන්න සජිත්, අනුර දෙන්නමත් තමන්ගේ ප්‍රතිපත්ති ඇතුළේ පිළිඅරගෙන තියෙන්නේ මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙනවා කියලා. එතකොට පැහැදිලියි මේගොල්ලො මේ ලෑස්ති වෙන්නේ ලංකාවේ බලශක්ති ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ඉන්දියාවට පාවාදෙන්න කියලා.’’
(අශිකා ජයවීර)