president-selection-method

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාගේ අවසන් ප්‍රචාරක ජනහමු කොළඹ ආශ්‍රිතව අද(සැප්. 18) දින පැවැත්වෙයි.





ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේදී පැවැත්වෙන අතර සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය මරදාන ටවර් රඟහල අසලදී ද, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධාන ජන හමුව නුගේගොඩ නගරයේදී ද පැවැත්වෙයි.

එසේ ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැලිය පිළියන්දල නගර සභා ක්‍රීඩාංගණයේදී ද, සර්වජන බලය පක්ෂයේ දිලිත් ජයවීර මහතාගේ අවසන් ජන රැලිය කොට්ටාව බස්නැවතුම්පළ අසලදී ද, ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතාගේ අවසන් ජනහමුව කිරිබත්ගොඩ නගරයේ ද සංවිධානය කර තිබේ.

මීට අමතරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන තවත් ප්‍රචාරක ජන හමු ගාල්ල, මාතර, කළුතර හා හෝමාගම යන නගරවල ද, සජිත් ප්‍රේමදාස මහතාගේ ජනහමු කෑගල්ල, ගාල්ල, ඇඹිලිපිටිය, මොනරාගල හා බේරුවල ද,

නාමල් රාජපක්ෂ මහතාගේ ජන හමු දෙකක් මතුගම හා තිස්සමහාරාම නගරවලදීත් පැවැත්වෙයි.

මේ අතර, ජනාධිපතිවරණ පූර්ව ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

ඒ අනුව, අද කොළඹ, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම සැලැස්ම ක්‍රියාත්මක වේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල ඇතිවන රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා පොලිසියෙන් පියවර ගෙන ඇත.