election-week

ජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.




මෙම දින දෙක පාර්ලිමේන්තුවේ සිදුවන සිදුවීම් දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණු අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ආණ්ඩු පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට මැතිසබය මැදින් පැති මාරු කළේය.


එසේ පැති මාරු කිරිමට  පෙර ජගත් කුමාර මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමා සමෘද්ධි ව්‍යාපාරය ප්‍රමුඛ සමෘද්ධි සංවර්ධන නිලධාර්න් ඇතුළු සියලුදෙනා ගැනත්, සමෘද්ධි ව්‍යාපාරයේ අනාගතය පිළිබඳවත් සිතා බලා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබාදීමට පියවර ගත් බවයි.

මේ අතර පසුගිය 04වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ස්වාධීන වීමට තීරණය කිරීමද විශේෂ සිදුවීමකි.


ඊට දින කිහිපයකට පෙර ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදීම වෙනුවෙන් හලාවත පැවති ජන රැළියද සංවිධානය කිර්මට වෙහෙස වී වැඩ කළ අරුන්දික හිටිහැටියේම පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූයේ ඇයිද යන කාරණය දෙසටද දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබුණි.විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ එක්තරා දේශපාලන කණ්ඩායමක් ජනතාවගේ ඔළු සෝදමින් බලයට පත්වීමට උත්සාහ ගන්නා බවත්, එම පිරිසට රටේ පාලන බලය ගියහොත් රට විනාශ වෙන නිසා දැන්මම රනිල් වික්‍රමසිංහ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් ඉක්මනින්ම එක්විය යුතු බවයි.




එසේ නොවුණහොත් රට අරාජිකත්වය කරා යාමට වැඩි ඉඩක් පවතින බවද අරුන්දික ප්‍රනාන්දු විසින් පෙන්වා දෙන ලදී. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදුකිරීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකුම ඔහුට සුබපතමින් පැවසුවේ ඉතා වටිනා කාරණයක් අරුන්දික මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ බවයි. ඔහු එක්තරා පක්ෂයක් ලෙස මුලින් කීවත් කතාව අවසන්වී අසුන්ගෙන යළිත් නැගිට තමන් සඳහන් කරන්නේ ජාතික ජනබලවේගය ගැන* බව සඳහන් කළේය. “ඔබතුමා යන්න හදන්නේ තලතා අතුකෝරළ මන්ත්‍රීතුමිය ගිය අඩි පාරේ නේද” යනුවෙන් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අරුන්දිකගෙන් විමසීමක් කළේය.


“ඔව්. මේ අවස්ථාවේදී කරන්න තියෙන හොඳම දේ තමයි රනිල් ජනාධිපතිතුමයි, සජිත් විපක්ෂ නායකතුමයි එකතුවෙන එක. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එහෙම ආදර්ශයක් ලබාදීම හරිම වැදගත්” යනුවෙන් අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.මේ අතර, ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදෙන ප්‍රධානතම දේශපාලන පක්ෂ රැසක් එක්වී ඊයේ (05දා) දින නව සන්ධානයක් පිහිටුවා ගැනීම සිදුකෙරිණ.


ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය ලබාදෙන මැති ඇමතිවරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ම මීට එක්ව සිටියහ. මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානය නම් වී තිබුණේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ලෙසයි. එමෙන්ම එහි සලකුණ ලෙස දක්වා තිබුණේ කුසලානයයි. නව සන්ධානයේ නායකයා දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයායි. එහි ප්‍රධාන ලේකම් වන්නේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණයි.


අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් මෙම නව සන්ධානය සමග එක්ව සිටීම විශේෂත්වයකි.මීට අමතරව ඩග්ලස් දේවානන්ද, ඒ.එල්.එම් අතාවුල්ලා, ටිරාන් අලස්, පිල්ලෙයාන්, සුගත් හේවාපතිරණ ඇතුළු පක්ෂ රැසක නායකයෝ මෙම නව සන්ධානය සමග ගිවිසුම්ගත වී සිටිති.




මෙහිදී අදහස් දැක්වූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ‘කුසලානය’ ලකුණින් තරග කරන බවත් තම කණ්ඩායම නිසැකව ජයග්‍රහණයත් කරන බවයි. එම ජයග්‍රහණය වාගේම මේ රටත් කුසලානය සමග ඉදිරියේදී ජයග්‍රහණය කරන බවද රමේෂ් පතිරණ කියා සිටියේය. මෙම ස්ථානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යම් කතාබහක් සිදුවිය. එතැන සිටි පිරිසගෙන් වැඩි පිරිසක් වූයේ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පොහොට්ටුවේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.


“රමේෂ් පතිරණ ඉතාම දක්ෂ, අවංක, තරුණ දේශපාලන නායකයෙක්. නව සන්ධානයේ ප්‍රධාන ලේකම්කමට එතුමා පත්වීම ඉතාම හොඳ දෙයක්. නාමල් රාජපක්ෂට තමයි මේකෙන් අවාසි" යනුවෙන් පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.


“නාමල් මන්ත්‍රීතුමාට මේක බලපාන්නේ කොහොමද” යනුවෙන් විමසුවේ පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

රමේෂ් පතිරණ මන්ත්‍රීතුමාගෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට විශාල වැඩක් ගන්න තිබුණා. පොහොට්ටුවේ ජාතික සංවිධායකකම නාමල් මන්ත්‍රීතුමා ගන්නෙ නැතිව, ඒක එදා රමේෂ් පතිරණ වගේ කෙනෙකුට දුන්න නම්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ අගය තවත් වැඩි වෙනවා. එතකොට රාජපක්ෂ පවුල්වාදය කියන ලේබල් එක එන්නෙත් නැහැ. එහෙම කරලා නාමල් මන්ත්‍රීතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සපෝට් කළා නම්, 2029 ජනාධිපතිවරණයේදී මේ හැමෝගෙම සහයෝගයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා නියත වශයෙන්ම ජනාධිපති වෙන්න තිබුණා.


එහෙම කරන්නේ නැතිව මේ පාර පොහොට්ටුවෙන් ඉල්ලලා නාමල් මන්ත්‍රීතුමා එයාගේ දේශපාලන අනාගතය විනාශ කර ගත්තා” යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා කළ කතාව එතැන සිටි කිහිපදෙනා අසාගෙන සිටියේ දැඩි අවධානයකිනි.


“තවත් දෙයක් කියන්න ඕන. රමේෂ් පතිරණලා වගේ කෙනෙක් නාමල් රාජපක්ෂට ලෙහෙසියෙන් හොයාගන්න බැහැ” යනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.


නව සන්ධානය පිහිටුවීමෙ කටයුතු සාර්ථක වෙද්දී පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නව සන්ධානය පිහිටුවූ උත්සවයේ තිබෙන එකම එක අඩුපාඩුව පෙන්වා දුන්නේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන්ය. "1994 ඉඳලා මහින්ද මහත්තයා එක්ක හිටපු ඔක්කොම මෙතන ඉන්නවා, ඒත් අද එතුමා මෙතන නෑ* මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් කීවේ තරමක කනගාටුවකිනි.


මේ අතර, නව සන්ධානය පිහිටුවීමට පෙර සන්ධානයේ නම හා ලාංඡනය කුමක් විය යුතුදැයි යන්න පිළිබඳව මන්ත්‍රීවරු අතර කතා බහක් ඇතිවිය. විශේෂයෙන් පොහොට්ටුවෙන් ඉවත්ව සිටින සියලු දෙනා මීළඟ මැතිවරණවලට ඉදිර්පත් වීමට බලාපොරොත්තුව සිටින නිසා පැහැදිලි පක්ෂයක් හා සලකුණක් පැවතිය යුතුබවට බොහෝ දෙනෙකුගේ මතය වී තිබිණි. අවස්නයේ %‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ යනුවෙන් නව සන්ධානයට නම තැබුවේ නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසිනි.


"මේක මම යෝජනා කරන නම. මීට වඩා තවත් හොඳ නම් තියෙන්න පුළුවන්.ඒ නිසා ඔයාලත් නම් කිහිපයක් බලන්න. පක්ෂයට අලුත් ලාංඡනයකුත් බලන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදීව වැඩේ කරමු” යනුවෙන් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට කීවේය.




ඒ අනුව මන්ත්‍රීවරු ‘ජනජය පෙරමුණ’ ඇතුළු තවත් නම් කිහිපයක්ම යෝජනා කළහ.එහෙත් බොහෝ නම් සම්බන්ධයෙන් ගැටලු මතු විය. සමහර නම් සඳහා ජ්‍යෝතිෂ්‍ය ප්‍රශ්නද බලපෑ බව නොරහසකි. එබැවින් ඇමති ප්‍රසන්න යෝජනා කළ ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන නම තැබීමට මන්ත්‍රීවරු එකඟ වූහ.


“මම ඔය නම කිව්වේ ගණ බලල නෙමෙයි. අපිට සහය දෙන දේශපාලන පක්ෂවල නම් දිහා බලල, ඒ අයටත් සාධාරණයක් කරලා. ඒත් අන්තිමට ඒක ජ්‍යෝතිෂයට ගැළපුණා” යනුවෙන් ඇමති ප්‍රසන්න කීවේය.


“අපි දන්නවා, සර් කොහොමත් වැඩ කරන්නේ තව කෙනෙක්ට ඒ වැඩේ කරන්න ඉතුරු කරලා නෙවෙයි කියලා” මන්ත්‍රිනී කෝකිලා ප්‍රකාශ කළාය.


මේ අතර මෙම නව සන්ධානයට කුමන ආකාරයකින් ප්‍රතිචාර දැක්විය යුතු වන්නේදැයි සිතූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ නිකම්ම බලාගෙන සිටියේ නැත.


ඔහුත් කුමන හෝ දේශපාලන පක්ෂයක් සමග ඊයේ දිනය තුළම සන්ධානගත විය යුතු බවට කල්පනා කළේය.මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබුණි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණවල නඩු කිහිපයක් පවතින නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමග මෙම සන්ධානගත වීම සිදුවුණාද යන්න නිශ්චිතව සඳහන් නොවිණි.


පොහොට්ටුවේ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මේ සඳහා අත්සන් කළ බවයි.


ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 40දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වූ බවද පොහොට්ටුවේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රදේශයේ පැවති ජන රැළියටද ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වූ අතර, එහිදී තමා ජනාධිපති ධුරය ජයග්‍රහණය කළ පසුව පාර්ලිමේන්තුවට සිදුවන දේ ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය දෙසද දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබුණි. තමා ජනාධිපති වූ විගස සිදුකරන පළමු ක්‍රියාව බවට වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ප්‍රකාශ කළේය.


මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය තෙක් රට ගෙන යාම සඳහා ගැටලුවක්  ඇති නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ කාරණා ක්‍රම 3කට සිදුකළ හැකි බවද අනුර කුමාර දිසානායක විසින් පෙන්වා දෙන ලදී.තමා ජනාධිපති වූ පසුව තමාගේ ආසනයට පක්ෂයේ තවත් අයෙක් එන බවත්, දැනට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරත් සමග මන්ත්‍රීවරුන් සිවුදෙනාට කැබිනට් මණ්ඩලයේම වගකීම භාරදිය හැකි බවද අනුර ප්‍රකාශ කළේය. මීට අමතරව විධායක ජනාධිපති වශයෙන් තමාට මුළු කැබිනට් මණ්ඩලයේම වගකීම ගත හැකි බවද අනුර කුමාර දිසානායක විසින් පෙන්වා දෙන ලදී.‍එමෙන්ම, භාරකාර ආණ්ඩුවක් යටතේද මීළඟ පාර්ලිමේන්තු මහ මැතිවරණය තෙක් රට පාලනය කළ හැකි බවද අනුර කුමාර දිසානායක විසින් පෙන්වා දුන්නේය. මේ අනුව විකල්ප 3ක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.