ගලෙන්බිඳුණුවැව, අක්කරවිස්ස ප්‍රදේශයේ නිවෙසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක තිබූ ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන ජීව පතොරම් 17ක්, පිස්තෝල සදහා භාවිත කරන ජීව පතොරම් 10ක් හා රිවොල්වර සඳහා භාවිත කරන ජීව පතොරම් 1ක් සමග උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකුගේ පුත්‍රයාගේ `බිරිය පසුගිය දා අත්අඩංගුවට ගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලෙන්බිඳුණුවැව අක්කරවිස්ස ප්‍රදේශයේ, 44 හැවිරිදි, දෙදරු මවකි. මෙම කාන්තාවගේ 6 වැනි වසරේ අධ්‍යාපනය ලබන දරුවකු ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන ජීව පතොරමක් පාසලට රැගෙන ගොස් ඇති අතර, පන්ති භාර ගුරුවරයා ඒ පිළිබඳව පාසලේ විදුහල්පතිවරයා දැනුවත් කර ඇත. විදුහල්පතිවරයා ඒ අනුව, ගලෙන්බිඳුණුවැව පොලිසියට කළ දැනුම් දීම මත පොලිස් නිලධාරීන් පිරිසක් දරුවා ද කැටුව ඔහුගේ නිවෙසට ගොස් කළ පරීක්ෂණයේදී මෙම ජීව පතොරම්, මුදල් දමන ප්ලාස්ටික් කැටයක බහා අල්මාරියේ තිබියදී සිය භාරයට ගෙන ඇත. පොලිසිය එම දරුවාගේ නිවෙස පරීක්ෂා කරන අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ ඔහුගේ මව පමණි.
ඔහුගේ පියා ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව පොලිසිය කියයි. තම සැමියාගේ පියා වන, උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයකුව සිටි, අභාවප්‍රාප්ත පී.බී. දිසානායක මහතාගේ නිවෙසේ සිට තම නිවෙසට රැගෙන ආ ගෘහභාණ්ඩ අතර මෙම ප්ලාස්ටික් කැටය ද තිබූ බව සැකකාරිය ප්‍රකාශ කළ බව පෝලිසිය කියයි. අත්අඩංගුවට ගැනුණමෙම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද පොලිසිය පවසයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments