galle-ship-news

ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරළී ආපදාවට ලක්ව ඇති බවත්, එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර, ධීවරයින් සිව් දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව ඊයේ (03දා) මුදවාගෙන ඇති බවත් නාවික හමුදාව පවසයි. මෙලෙස අතුරුදන් වි ඇත්තේ, හත්මුනි සමන් කුමාර ද සිල්වා, කලුබුන් වසන්ත ද සිල්වා, වැලිකන්ද, අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයින් දෙදෙනෙකු සහ බන්වැල්දුව, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි යකුපිටි කුමාරසිංහ නමැත්තෙකි.




ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයන් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරිමට නාවික හමුදාව කටයුතු කළ බව නාවික හමුදාවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ගාල්ල ධීවර වරායෙන් පසුගිය අගෝස්තු මස 25 දින ධීවරයන් හත් දෙනෙකු සමග ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක IMUL - A- 0690 - GLE දරණ ‘නිහතමානි 01’ නමැති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඊයේ(03දා) අලුයම එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කළ නෞකාවක ගැටීමෙන් බහුදින ධීවර යාත්‍රාව පෙරළී ආපදාවට ලක්ව තිබේ.


එම අනතුරින් ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, එහි සිටි ධීවරයින් සිව් දෙනෙකු ‘ලසන්ත 01’ නමැති බහුදින ධීවර යාත්‍රාව මගින් මුදවා ගෙන මේ වන විට ගොඩබිමට රැගෙන විමින් සිටින බවද නාවික හමුදාව කියයි.නිහතමානි 01’ යාත්‍රාවේ හිමිකරු වන නො. 60/25 , සුප්‍රිම් සිටි, ආනන්ද මාවත , කිතුලම්පිටිය, වක්වැල්ල , ලිපිනයේ පදිංචි මනික්කුවා හන්දි දිලිප් නිශාන්ත ද සිල්වා යන අය විසින්

මේ පිළිබඳ ගාල්ල වරාය පොලීසියට පැමිණිලි කර ඇත.


ධීවරයන් සිව් දෙනාගෙන් එක් ධීවරයෙක් අසාද්‍ය තත්ත්වයේ සිටින බැවින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කරන ලද දැනුම් දීමකට අනුව නාවික හමුදාව මෙම පියවර ගෙන තිබේ.එයින් පසු ‘ලසන්ත 01' නමැති බහුදින ධීවර යාත්‍රාව මගින් ගොඩබිමට රැගෙන එමින් සිටින ධීවරයන් සිව් දෙනා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව පිටත් කර යැවීමට මෙලෙස කටයුතු කර තිබේ.
 චන්දන සමරවික්‍රම