gnasara-court

 ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් 'බොදු බල සේනා' සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (26දා) දැනුම් දුන්නේය.




2016 ජූලි 06 වැනිදා කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳීයන ආකාරයේ කටයුතු කර ඇති බවට චෝදනා නඟා ඇත. දණ්ඩ නිති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවටද චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම නඩුව පවරා ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණයේ පෙනී සිටියහ. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණි අල්විස් මහතා විත්තියේ විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සනාථ කිරිම  සඳහා වන සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති හෙයින් උන්වහන්සේ නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාහු අධිකරණය පෙනී සිටියහ.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

බුද්ධිමාල් රුබේරු