gotabaya-nepal-tour

 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අනෝමා රාජපක්ෂ මේ දිනවල භූතානයේ හා  නේපාලයේ සංචාරයක නිරතවී සිටී. ඔවුන් ලංකාවෙන් පිටත්ව ගොස් ඇත්තේ ජනපතිවරණයට දින කිහිපයකට පෙරයි.  භූතානයේ තිම්පු අගනුවර හරහා නේපාලයේ කත්මණ්ඩු වෙත ගියේ එළැඹි සඳුදාය.
2022 ජූලි මාසයේ ජනපති ධූරය අතැර පළායාමෙන් පසු රටවල් කිහිපයක ආරක්ෂාව අරමුණින් හා වන්දනා අරමුණින් සංචාරය කර ඇති මෙම යුවළ මෙවර නේපාලයට යන්නට පෙර මාල දිවයින, තායිලන්තය හා ඩුබායි රාජ්‍යයන්හි මීට කලකට ඉහත සංචාරය කළ බවට විස්තර පළ විය.


කෙසේ වෙතත් ඔවුනගේ පුතණුවන් වාසය කරන හා ඔවුනට පුරවැසිකම තිබුණ ඇමරිකාව වෙත වීසා ගබාගැනීමේ දුෂ්කරතා නිසා තවම ඇමරිකාවට යන්නට බැරිව තිබේ.
ගෝඨාභය හා අනෝමා නේපාලයට ගොස් ඇත්තේ එරට වසන ගෝඨාගේ හිතවතෙකු වන ධනවතෙකුගේ ආරාධනයෙන් බවට වාර්තා පළව තිබේ.ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජන ඇති චෞද්‍රි සමූහ ව්‍යාපාරය හිමිකරු බිනෝද් චෞද්‍රි මෙම ගමන සඳහා ඇරයුම සිදුකර ඇත.


රාජපක්ෂට සත්කාර කරන නේපාල ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිට ශ්‍රී ලංකාවේ හෝටල් සහ බැංකු මෙන්ම ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු දකුණු ආසියාව පුරා ව්‍යාපාර ඇත.
නේපාලයේ ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සඳුදා ගොඩ බැස්ස ඔවුන් නවාතැන්ගෙන සිටින්නේ, ජම්සිඛෙල් හි විවන්ත හෝටලයේය.
තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔහු විවිධ බෞද්ධ ස්ථාන නැරඹීමට සැලසුම් කර ඇති අතර භාරත්පූර් වෙත ද යාමට නියමිත බවයි. කත්මන්ඩු හි දින දෙකක රැඳී සිටීමෙන් පසු ඔවුන් බදාදා භාරත්පූර් වෙත යාමට සැලසුම් කර ඇත.
චිට්වාන් හි දින තුනකට පසුව, ඔවුන් ලබන ඉරිදා කත්මණ්ඩු වෙත ආපසු යාමට පෙර ලුම්බිණිය නැරඹීමට නියමිතය.
මෙම සංචාරය පුද්ගලික එකක් ලෙස විස්තර කර තිබේ. අනෙක් අතට බල පෙරළියක් සිදුවන වෙලාවක ඔවුන් ආරක්ෂාව තකා ලංකාව මගහැර සිටින්නට සිතා සැලසුම්කළ සංචාරයක්ද විය හැකිය.