Grade-Five-scholarship-exam-paper-leaked

 පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින සහ චෝදනාවට ලක්වී සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුහල්පති හා ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති නිලධාරීන්ට කරන දේශපාලනික  බලපෑම් නැවතීමට මැදිහත් වන ලෙසට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය මහත්මියගෙන් ඉල්ලීමක් කරයි.






මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර බෙදා හැරීමේ චෝදනාව මත තිදෙනකු වැඩ තහනමට ලක්ව, තවත් ගුරුවරුන් (ටියුෂන් ද පවත්වාගෙන යන) නව දෙනකුගේ ජංගම දුරකතන විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පරීක්ෂණ සඳහා භාරයට ගැනිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.


“මේ වනවිට මෙම ප්‍රශ්න පත්‍ර සිද්ධිය යට ගහන්න විවිධ දේශපාලන බලපෑම් සහ යම් යම් වෘත්තීය සමිති බලපෑම් කරමින් තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා මේ ගැන කියන්නේ මේ සිද්ධියට පරීක්ෂණ කරන තුරු විභාග පිළිතුරු පත්‍ර ඇගයීම නතර කරනවා කියලයි.


එසේ බලන විට මේ යන විමර්ශනය කොච්චර කොපමණ කාලයක් දැයි කියන්න බෑ. එය අවුරුද්දක පමණ කාලෙකින් පවා අවසන් වෙයි ද කියන්න බෑ. එතෙක් ප්‍රතිඵල දෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය අපට තියෙනවා.

උතුරු මැද පළාතේ නව දෙනකුසැකපිට විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කර දෙපාර්තමේන්තු මගින් ඔවුන්ගේ දුරකතන භාරයට ගත්ත ද දැනට එම පරීක්ෂණ නැවැතී තියෙනවා. එතැනින් එහාට මේ විමර්ශන ගිහින් නෑ. අඩු තරමේ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු මූලික ක්‍රියාමාර්ග ගැනීම් පවා නැවතී තිබෙනවා. අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ද ආයතන මට්ටමේ ගතයුතු ක්‍රියා මාර්ග ද අරගෙන නෑ.


මේ වනවිට හෙළිදරව් වූ සහ හෙළිදරව් වෙමින් පවතින කරුණු අනුව අවුරුදු අටක පමණ සිට කාලයක් තිස්සේ මෙසේ විභාග වංචා වෙලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරුන් ටියුෂන් ගුරුවරුන් එකතු වෙලා මෙතරම් කාලයක් මෙය කර තිබෙනවා.මෙය ගුරුවරුන් දෙතුන් දෙනකුගේ හෝ නිලධාරී දෙතුන් දෙනකුගේ හෝ ටියුෂන් මුදලාලිලා දෙතුන් දෙනකුගේ ප්‍රශ්නයක් නොව සිසුන් තුන් ලක්ෂ විසිපන්දාහකගේ ප්‍රශ්නයක් යැයි ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

බී.ජී. චතුරංග