Grade-Five-scholarship-exam-paper-leaked

මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ තහනමට ලක්ව සිටින සහ පරීක්ෂණ සඳහා චෝදනාවට ලක්වී සිටින විදුහල්පති හා ගුරුවරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති නිලධාරීන්ට සිදු කරන දේශපාලනික බලපෑම් නැවතීමටත්,

ඒ සඳහා සාධාරණය ඉටු කිර්මට මැදිහත් වන ලෙසටත් අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනී හරිනි අමරසූරිය මහත්මියගෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කළේය.



මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර බෙදාහැරීමේ චෝදනාව මත, තිදෙනෙකුගේ වැඩ තහනමට ලක්ව, තවත් ගුරුවරුන් (ටියුෂන්ද පවත්වාගෙන යන) නවදෙනෙකුගේ ජංගම දුරකථන විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පරීක්ෂණ සඳහා භාරයට ගත්තේය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.


“මේ වන විට මෙම ප්‍රශ්න පත්‍ර සිද්ධිය යට ගහන්න විවිධ දේශපාලන බලපෑම් සහ යම් යම් වෘත්තීය සමිති බලපෑම් කරමින් තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා මේ ගැන කියන්නේ මේ සිද්ධියට පරීක්ෂණ කරනතුරු විභාග පිළිතුරු පත්‍ර ඇගැයීම නතර කරනවා කියලයි.


එසේ බලන විට මේ යන විමර්ශනය කොපමණ කාලයක් දැයි කියන්න බෑ. එය අවුරුද්දක පමණ කාලෙකින් පවා අවසන් වෙයිද කියන්න බෑ. එතෙක් ප්‍රතිඵල දෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය අපට තියෙනවා.


උතුරු මැද පළාතේ නවදෙනෙකු සැකපිට විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිර්ම් කර, දෙපාර්තමේන්තු මගින් ඔවුන්ගේ දුරකථන භාරයට ගත්තද, දැනට එම පරීක්ෂණ නැවතී තියෙනවා. එතැනින් එහාට මේ විමර්ශන ගිහින් නෑ. අඩු තරමේ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු මූලික ක්‍රියාමාර්ග ගැනීම් පවා නැවතී තිබෙනවා.




අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන්ද ආයතන මට්ටමේ ගත යුතු ක්‍රියාමාර්ගද අරගෙන නෑ. මේ වන විට හෙළිදරව් වූ සහ හෙළිදරව් වෙමින් පවතින කරුණු අනුව අවුරුදු අටක පමණ සිට කාලයක් තිස්සේ මෙසේ විභාග වංචා වෙලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරු, ටියුෂන් ගුරුවරු එකතු වෙලා මෙතරම් කාලයක් මෙය සිදුකර තිබෙනවා.මෙය ගුරුවරු දෙතුන්දෙනෙකුගේ හෝ නිලධාර්න් දෙතුන්දෙනෙකුගේ හෝ ටියුෂන් මුදලාලිලා දෙතුන්දෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි, සිසුන් තුන් ලක්ෂ විසිපන්දහසකගේ ප්‍රශ්නයක්.”


මේ බරපතළ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන, රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන් මැදහත්ව සිට ඉතා අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට තමන් නව අධ්‍යාපන ඇමැතිවරියගෙන් ඉල්ලා සිටින බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.
 බී.ජී. චතුරංග