කෙසේ වෙතත් මුලින් වාර්තාවූ ප්‍රශ්න 3 ගැටලුවට වඩා විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයම පිටවීම පිළිබඳ සාක්ෂි ඇතැයි කියමින් දෙමාපියන් කරුණු දැක්වීම නිසා විශේෂ පරීක්ෂණයක් මේ ගැන අරඹා තිබේ.
විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් කලින් පිටව ඇති බව පවසමින් ඒ සඳහා සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලා මවුපියන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ ඊයේ (18) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. ඉන් එක් කණඩායමක් සමඟ පැවැති සාකච්ඡාවකදී තමන් මේ බව එම පිරිස හමුවේ දැනුම් දුන් බව ද කොමසාරිස්වරයා කීවේය.
ශිෂ්‍යත්ව විභාගයට පෙර එහි ඇති ප්‍රශ්න තුනක් පමණක් පිටව ඇති බව කීවද ඊට වඩා ප්‍රශ්න පිටව ගුරුවරු කිහිප දෙනකු විසින් සාකච්ඡා කර ඇති බවට තොරතුරු ඇතැයි සාකච්ඡාවට පැමිණි කණ්ඩායම පැවසූ බව ද හෙතෙම කීවේය.
සාකච්ඡාවට පැමිණි පිරිසගේ තොරතුරු නිවැරදි බවට දින තුනක් තුළ ඔප්පු කර පෙන්වුවහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසුවේය.
තමන්ට දැනට අනාවරණය වී ඇත්තේ ප්‍රශ්න 16කින් යුත් පත්‍රයක් සාකච්ඡාවට ලක්ව ඇති බවත් ඉන් ප්‍රශ්න තුනක ගැටලුවක් බවත් ඒ මහතා කීය.
ඊයේ (18) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණි මෙම මවුවරුන් ඇතුළු පිරිස ඉකුත්දා (15) පැවැති ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලමින් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඒ හැරුණු කොට දිවයිනේ ප්‍රදේශ රැසකදී මෙවර ශිෂ්‍යත්වයට මුහුණ දුන් දරුවන්ගේ මවුපියෝ උද්ඝෝෂණවල නිරත වූහ.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිටව ඇති බව හෙළිවීම සහ එම ප්‍රශ්න අතහැර විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමට විරෝධය පාමින් මෙම පිරිස විරෝධය දක්වා ඇත.
විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධය දැක්වූ මවුපියන් පිරිසකට බලධාරීන්ට ලිඛිත පෙත්සමක් භාරදීමට විභාග දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී තිබිණි.
පැවැති විරෝධතාව හේතුවෙන් පොලිසිය සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් ද කැඳවා තිබිණි. පසුව විභාග කොමසාරිස්වරයා සමඟ මේ පිරිසෙන් කොටසකට සාකච්ඡාවක් ලබා දී ඇති අතර එම සාකච්ඡාවෙන් පසුව උද්ඝෝෂකයන් විසිර ගොස් තිබේ.
කෙසේවෙතත් ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රායෝගික ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු විසින් විභාගයට පෙර ප්‍රචාරය කර ඇත. අනුරාධපුරයේ ද විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුවක් මතුව තිබිණි. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් කරන ලද පැමිණිලි අනුව විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළේය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මණ්ඩලයේ එකඟතාව මත අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පෙරේදා (17) තීරණය කර තිබිණි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවැති අතර සිසුහු 323,879 දෙනකු විභාගයට පෙනී සිටියහ.
0 Comments