Grade-Five-scholarship-exam-paper-leaked

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ දැයි සොයා බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයාද කීවේය.



ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා

ලැබුණු පැමිණිල්ලක් මත මූලික විමර්ශනයක් සිදු කර එම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කළ පරීක්ෂක මණ්ඩලය කැඳවා එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රයේ තිබී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ නියම ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න තුනකට ආසන්න සමානත්වයෙන් යුත් ප්‍රශ්න තුනක් පමණක් බවය.ඒ අනුව එම ප්‍රශ්න තුන ඉවත්කර ඇගැයීම් කිරීමට තීන්දුවක් ගත් බව ද හෙතෙම සඳහන් කළේය.


අනුරාධපුර විභාග මධ්‍යස්ථානයක විදුහල්පතිවරයෙකු ඇතුළු ගුරුවරුන් 6 දෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
පරීක්‍ෂණවලට අනුව එම පුද්ගලයන් විභාගය ආරම්භ වීමට මිනිත්තු දහයකට පෙර පළමු ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප හුවමාරු කර ගෙන ඇත.
ඒ අනුව සහකාර අධීක්ෂකවරයා සහ ගුරුවරුන් හය දෙනෙකු ඔවුන්ගේ ජංගම දුරකථන සමඟ අත් අඩංගුවට ගනු ලැබුවේ පත්‍රයේ පින්තූර බෙදා ගත් බව කියන චෝදනාව මතයි.
විදුහල්පතිවරයකු සහ ගුරුවරුන් අනුරාධපුර සහ නොච්චියාගම පිහිටි රජයේ පාසල්වල අය වෙති.
ප්‍රශ්න පත්‍රය අනුරාධපුරය, නොචිචියාගම, කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට යවා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.