hiniduma-murder

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක සම්පත් ගමගේ මහතාගේ හිසට සිදු කළ ඛරපතළ පහර දීමකින් ඊයේ (17දා) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, ගොඩගම ලක්ෂපාන අසල පදිංචි සම්පත් ගමගේ (අවු.44) බව පොලීසිය කියයි.


මෙම පුද්ගලයා සිය නිවසේ හුදකලාව වාසය කළ අතර ඊයේ දහවල් 11ට පමණ ලද තොරතුරකට අනුව පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී හිසින් අධික ලෙස රුධිරය වහනය වෙමින් බිම වැටී සිටියදී ප්‍රතිකාර සඳහා ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවය.




ත්‍රීරෝද රථයකින් පැමිණි අයෙකු විසින් මරණකරුගේ හිසට මුගුරකින් පහර දී ඝාතනය සිදුකර ඇති බවට පොලීසියට කරුණු අනාවරණය වී ඇති අතර සැකකරු මෙතෙක් හදුනාගෙන නැති බවද පොලීසිය පවසයි. මියගිය සම්පත් ගමගේ මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන අතර පෞද්ගලික බස් රථ හිමිකරුවකුද වේ.


ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත. හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්‍ෂණය සිදුකරන ලදි. මීගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ප්‍රදීප් කුමාර කුලරත්න