නැන්දණිය සමඟ අමනාප වී නිවසින් බැහැරව ගොස් වාසය කරමින් සිටිය දී සිය සැමියා අභිරහස් ලෙස මියගිය බවට ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී බිරිය සාක්කි දීම නිසා මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය පියවර ගත්තාය.
මෙසේ මියගොස් ඇත්තේ ඉහළ බෝපේ පදිංචි ජගත් රොහාන් කුමාර නමැති පුද්ගලයෙකි.මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිට ඇති අතර ඉකුත් දා ඔහු රියදුරු රැකියාවට ගොස් රාත්‍රී 11.30 පමණ නිවසට පැමිණ නිදාගෙන ඇත. පසුදා උදෑසන11 පමණ මිතුරෙකු පැමිණ විමසීමේ දී ඒ බව දැනුම් දීමට මව කාමරයට ගිය අවස්ථාවේ දී මෙසේ මියගොස් සිට ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
සිද්ධිය වාර්තා වීමත් සමඟ පාදුක්ක පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කොට ස්ථානීය පරීක්ෂණය සඳහා හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය එම ස්ථානයට කැඳවා ස්ථානය පරීක්ෂණයක් සිදුකර ඇත. එහිදී හදිසි මරණ පරීක්ෂිකා මානෙල් ගමගේ මහත්මිය පොලීසියට නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසයි.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පණිත සෙනෙවිරත්න මහතා විසින් හෝමාගම මූලික රෝහලේදී සිදු කළ අතර එහිදී බිරිය සාක්කි දෙමින් පවසා ඇත්තේ තම සැමියාගේ මව සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් තමා නිවසින් බැහැරව වාසය කර ඇති බවත් ඉන් පසුව හිත් වේදනාවෙන් පසු වූ සිය සැමියා අධික ලෙස මත්පැන් පානයට පුරුදු වූ බවත්ය.
ඒ අනුව සිය සැමියාට කිසියම් අයෙකු වසක් පානයට සැලැස්වූවාදැයි සැක පවතින බව මියගිය පුද්ගලයාගේ බිරිය සාක්කි දෙමින් පවසා තිබේ.හදිසි මරණ පරීක්ෂිකා මානෙල් ගමගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සඳහා ගිය අවස්ථාවේදී අසල්වාසීන් ද පවසා ඇත්තේ මොහු මත්පැන් පානය කරන අවස්ථාවකදී කිසියම් අයෙකු ඊට වස පානයට සැලැස්වූවාදැයි සැක බවයි.ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු මානෙල් ගමගේ මහත්මිය නිගමනය කළාය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
0 Comments