inside-story-political

ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේය. 22 වැනිදා අලුයම වන විට ජයග්‍රාහකයා කවුරුන්දැයි ඉතාම පැහැදිලිව දිස්වන්නට විය. ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ මල්පාරේ නිවෙසේය.

" අලුත් ජනාධිපතිතුමාට දිවුරුම් දෙන්න කටයුතු සූදානම් කරන්න" ජනාධිපති රනිල් තම කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැදියම් රැය වනතුරු අවදියෙන් සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය වන බව අගමැතිවරයාට දැනී තිබිණි.

"ඔබතුමා කොහේද ඉන්නේ" අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් විමසුවේ ඉංග්‍රීසි භාෂාවෙනි.

“මම ගෙදර” රනිල් කෙටි උත්තරයක් දුන්නේය. “මම ඉල්ලා අස්වීමේ ලියුම උදෙන්ම ඔබතුමාට එවන්නම්” අගමැති දිනේෂ් කීවේය.

“ඔව්, ඒක හොඳයි. අපි ඒ අයට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑනේ." රනිල් කීවේය.

අගමැති දිනේෂ් කී පරිදිම පසු දින හිමිදිරියේම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල්ට යොමු කළේය. ඒ සමගම කැබිනට් මණ්ඩලය ද විසිරුණි.

ජාතික ජන බලවේගය කල් ඇතුවම තීන්දුවක් ගෙන තිබිණි.

“අනුර සහෝදරයා ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි. එතකොට අපේ අගමැති වෙන්න ඕනෑ හරිති සහෝදරිය." ඒ, ජාතික ජන බලවේගය කලින්ම ගෙන තිබූ තීරණය විය.



හරිනි අමරසූරිය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය වේ. එහෙයින්, අනුර කුමාර දිසානායකගෙන් හිස් වන මන්ත්‍රී ධුරය ජ.වි. පෙ.ට දිය යුතු බවට යෝජනා විය. ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයකු වශයෙන් පත් කෙරුණේ ඒ අනුවය.

තිදෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ 24 වැනිදාය. මෙම අවස්ථාවට ජ.වි.පෙ. හා ජාතික ජන බලවේගයේ තෝරාගත් සීමිත පිරිසක් පමණක් සහභාගි වීම කැපී පෙනුණි.

“අලුත් ජනාධිපතිතුමා දිවුරුම් දෙන්න එන්නේ රජ ගෙදර ඉඳලා ද? අරලියගහ මන්දිරයේ ඉඳලා ද? එහෙම නැත්නම් තමන්ගේ නිවෙසේ සිට ද?" 23 වැනිදා පෙරවරුවේ බොහෝ දෙනකුට තිබූ ප්‍රශ්නය එය විය.


ඒ ප්‍රශ්නය මතු කළ බොහෝ දෙනකුට අමතක වූයේ, නව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බවය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණියේ සුපුරුදු පරිදි බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ සිටය.

දිවුරුම් දීමේ උළෙල පැවැතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේය.

“චාම් උත්සවයක් තියමු" ජනාධිපති අනුර කල් තියාම කියා තිබිණි. සියලු කටයුතු සංවිධාන වී තිබුණේ ඒ අනුවය.

ජනාධිපති අනුර කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසියේ මැතිවරණ ව්‍යාපාරයේදීත් ඔහු ගමන් කළ වාහනයෙනි. අතිරේකව පැමිණි වාහන සංඛ්‍යාව 2කි. රතු පලස නැත. අශ්වාරෝහක බල ඇණි නැත. සාමාන්‍ය මිනිසකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ ජනාධිපති අනුර, මහා සංඝරත්නයට වැඳ නමස්කාර කර අනෙකුත් ආගමික ප්‍රසාදීන් වහන්සේලාට ආචාර කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපිට දිවුරුම් දුන් ජනාධිපති අනුර දෑත් එක්කාසු කර අගවිනිසුරුවරයාට ආචාර කළේය. අගවිනිසුරුවරයා ද දෑත් එක්කොට ආචාර කළේය. මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කර අභිනව ජනාධිපතිවරයාට සෙත් පතා පිරිත් නූල් ගැට ගැසූහ.  අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය.

 
" මා ඉන්ද්‍රජාලිකයකු හෝ මැජික්කරුවෙක් නොවේ.   රට ගොඩනැගීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා." ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

උත්සව සභාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හමු වූහ.




දිවුරුම් දීමේ උළෙලට  තෝරාගත් පිරිසක් පමණක් සහභාගි වූ අතර, පාක්ෂිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජය ඝෝෂා නගමින් සිටියහ. “ලාල් සහෝදරයට පොඩ්ඩක් කතා කරන්න." ජනාධිපති අනුර එසේ කිව්වේ. ලාල්කාන්ත පෙනෙන්න නොසිටිය නිසාය. හැම තැනම සොයා බැලුව ද ලාල්කාන්ත සොයා ගැනීමට නොහැකි විය.

“දැන් මෙතැන හිටියනේ." හරිනි අමරසූරිය කිව්වාය. එහෙත් ලාල්කාන්ත නැත.

“ලාල් සහෝදරයා නුවර යනවා." බිමල් රත්නායක කීවේය.

දිවුරුම් දීමේ උළෙලින් පසුව ජනාධිපති අනුර කුමාර මහනුවර දළදා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගෙන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැකීමට නියමිතව තිබිණි. ඒ කටයුතු සංවිධාන කිරීමේ වගකීම පැවැරී තිබුණේ ලාල්කාන්තටය. දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ලාල්කාන්ත හනිකට නුවර බලා ආවේය. කොළඹ සිට නුවර බලා එන ගමනේදී ලාල්කාන්ත නුවර කටයුතු සංවිධාන කළේය.

“අපි උපරිම තිහක විතර පිරිසක් රැස් කරමු." ලාල් දුරකතනයෙන් අවශ්‍ය උපදෙස් දුන්නේය. ජාතික ජන බලවේගයට සම්බන්ධ තිස් දෙනකු පමණ පිරිසක් ලාල්කාන්ත එනතුරු නුවර බලා සිටියහ. ලාල් කෙළින්ම ගියේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මුණගැසීමටය. ඒ වන විටත් දියවඩන නිලමේ බොහෝ කටයුතු සංවිධාන කර තිබිණි. මහනුවර ආරක්ෂක ප්‍රධානීන්, ශ්‍රී දළදා මාලිගාවේ භාරකාර නිලධාරීන් ආදි වශයෙන් සියලු දෙනා එක්වී ලාල්කාන්ත සහ දියවඩන නිලමේ සමග සාකච්ඡා කරමින් අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින් සිටියහ.

පෙරවරු 2.300 පමණ ජනාධිපති අනුර දළදා මාලිගාවට පැමිණියේය. ලාල්කාන්ත ජනාධිපතිවරයා පිළිගත්තේය. ජනාධිපතිවරයා සමග බිමල් රත්නායක සහ ජනාධිපතිවරයාගේ සමීපතමයෝ දෙතුන් දෙනෙක් ද පැමිණ සිටියහ. චාම් හා චාරිත්‍රානුකූලව සියලු කටයුතු සූදානම් කර තිබිණි.

පත්තිරිප්පුව පාමුල එක් ස්ථානයක පුටු දෙකක් තබා තිබිණි. ජනාධිපතිවරයා ඉන් එක් පුටුවක වාඩි වී සපත්තු ගලවා අදාළ ස්ථානයෙන් තැබුවේය. එතැන වතුර පිරවූ බේසමකි. සබන් ගා දෑත් සෝදාගත් ජනාධිපතිවරයා අතට දළදා මාලිගාවේ අදාළ රාජකාරි බාර අයකු සුදු තුවායක් පිරිනැමීය. එයින් දෑත් පිසදාගත් ජනාධිපතිවරයා ඉදිරියට ගියේය.

“ආයුබෝවන් ජනාධිපතිතුමනි!" දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල දෑත් එක්කාසු කර ආචාර කරමින් ජනාධිපතිවරයා පිළිගත්තේය. ජනාධිපතිවරයා ද එලෙසින්ම ආචාර කළේය. එතැන චාරිත්‍රානුකූල කටයුතු සඳහා තවත් නිලමේවරු පිරිසක් රැඳී සිටියහ. එහිදී මල් වට්ටි තුනක් සූදානම් කර තිබිණි. දළදා මාලිගාවේ සිරිත් විරිත්වලට අනුව එම මල් වට්ටි බැහැරින් රැගෙන යා නොහැක. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මග පෙන්වීම යටතේ ජනාධිපතිවරයා මල් වට්ටිය දෑතින් ගෙන දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කුටියට ඇතුළු විය. මෙම අවස්ථාවට සහභාගි වීමට අවස්ථාව හිමි වූයේ ජනාධිපතිවරයාට අමතරව ලාල්කාන්තට හා බිමල් රත්නායකට පමණි. ජනාධිපතිවරයා දළදා සමිඳුන්ට මල් පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.



එම අවස්ථාවේදී වැඩම කර සිටි මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාගේ අතෙහි පිරිත් නූල් ගැට ගසා ආශිර්වාද කළහ. එම කටයුතු හමාර වීමෙන් පසුව ජනාධිපතිවරයාට බුදු පිළිමයක් තෑගි කිරීම සිදු විය.

දළදා මාලිගා පරිශ්‍රයේම රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා විශේෂ කොටසක් තිබේ. දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයාව එම ස්ථානයට රැගෙන ගියේය. තේ පැන් සංග්‍රහය අතරතුර ආගිය කතාබහ ද විය.

දියවඩන නිලමේ ඇතුළු සෙසු නිලමේවරු ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මේ අවස්ථාවට දියවඩන නිලමේගේ බිරිඳ හා දරු දෙදෙනා ද එක්ව සිටියහ. ඔවුන් ද ජනාධිපතිවරයා සමග ඡායාරූප ගත්තේය.

මෙම කටයුතුවලින් අනතුරුව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදුටුවේය. ජනාධිපතිවරයා අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝ රත්නය පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. අනතුරුව වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැකීමෙන් අනතුරුව පස්වරු 4.00ට පමණ අසල පිහිටි කෝවිලට ජනාධිපතිවරයා ගියේය. එය සංවිධාන කර තිබුණේ ජාතික ජන බලවේගයේ මහනුවර දෙමළ ක්‍රියාකාරීන් පිරිසකි.

“ලාල් සහෝදරයා, මම මෙහෙමම අනුරාධපුරයේ යනවා. අටමස්ථානයට යන්න ඕනෑ. අම්මාවත් බලාගෙන එන්න ඕනෑ." ජනාධිපති අනුර කුමාර ලාල්කාන්තට කීවේය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන සගයන් හමු වූයේ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදීය.

“සර්, දැන් මොකද කරන්නේ?" රුවන් විජයවර්ධන පළමුවෙන්ම විමසුවේය.

“ජනතා තීන්දුවක් දීලා තියෙනවා. අපි ඒ තීන්දුවට හිස නමමු." රනිල් කීවේය.

“සර් පාර්ලිමේන්තු මැතිවරණයට එයි කියලා පාක්ෂිකයන් බලාගෙන ඉන්නවා." හරින් ප්‍රනාන්දු කීවේය.

“මම ආපහු මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් මම පක්ෂයට දේශපාලන කඳවුරට නායකත්වය දෙනවා." රනිල් වික්‍රමසිංහ තිර හඬින් කීවේය.

“ඔව්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මන්ත්‍රීවරයෙක් වෙලා ආපහු පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. ඒ සම්ප්‍රදාය අපි රකිමු." රාජිත සේනාරත්න කීවේය.



“අපි බෙදිලා ගිය නිසා තමයි මෙහෙම වුණේ. මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනෑ. නැත්නම් සන්ධානයක් හදාගන්න ඕනෑ." වජිර අබේවර්ධන කීවේය.

“ඒ යෝජනාව හොඳයි. සමගි ජන බලවේගය එක්ක මේ ගැන කතා කරන්න. අපි ඒ වැඩේ රුවන්ටයි, තලතාටයි බාර දෙමු." රනිල් කීවේය. ඒ අනුව සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීමේ වගකීම රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරළ බාරගත්හ.

වජිර අබේවර්ධන යළිත් මෙසේ කීවේය.

“අනුර කුමාරගේ ජන වරම ක්‍රියාත්මක කරන්න අපි ඔහුට සහයෝගය දිය යුතුයි. හැබැයි නැවත පෝලිම් යුගයක් ඇති  නොවන්න අලුත් ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි.”

 එක්සත් ජාතික පක්ෂයේ සන්ධාන යෝජනාව සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

“ඊළඟ මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස නායකතුමාගේ නායකත්වයෙන් අපි තරග කරනවා. එතුමා අගමැති කරලා අපි අපේ ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි." ස.ජ.බ. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

“යූඑන්පිය අපිත් එක්ක සන්ධානයකට කැමතියිලු. මොකක්ද ගන්න තීරණය?" ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසුවේ ඔහුට ලැබුණු අලුත්ම ආරංචිය සභාව හමුවේ තබමිනි.

“අපිට යූඑන්පියත් එක්ක සන්ධානයකට යන්න පුළුවන්. හැබැයි ඒ යූ එන්පියෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්න බෑ. තිස්ස මන්ත්‍රීතුමා ප්‍රෙස් එකක් තියලා මේ කතාව රටට කියන්න." විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

මැතිවරණ පරාජය ගැන පොහොට්ටුවේ එතරම් තැකීමක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ, ඔවුන් එම ප්‍රතිඵලය කල් ඇතිව දැන සිටි නිසා විය හැකිය.

“අපි කොහොමත් මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා ආණ්ඩුව පිහිටුවමු. හැබැයි මොන හේතුවක් නිසාවත් අපි යූඑන්නී එකත් එක්ක නම් සන්ධානයකට යන්නේ නෑ." හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ ප්‍රබලයන් සමග කීවේය.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුවය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ඉල්කක කරමින් සියලු පක්ෂ සන්ධාන ගොඩ නැගීමට කටයුතු කරමින් සිටී.
(පන්දමා)