itak-sajith


ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබේ.

අද (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවය.
මාවෙයි සේනාධිරාජා මහතා මින් ඉහත මෙම තීරණයට එරෙහිව සිටි අතර විවාද පැවතිණි.



කෙසේ වෙතත් අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා සිටියේ, තමා පක්ෂයක් ලෙස එම ථීරණයට එකඟ වූවද පුද්ගලිකව එම මතයට කිසිසේත් එකඟ නොවන බවය.

සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතාට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.