janaka-ratnayake

ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් ෆේස්බුක් වෙත නිකුත් කිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක මහතා ඊයේ (01දා) ඇඹිලිපිටිය පොලීසියට පැමිණ පැමිණිල්ලක් කළේය.




පසුගිය අගෝස්තු 21වැනිදා හෝ ඊට ආසන්න දිනයක ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී තෝරාගත් පිරිසකට ඡන්ද පත්‍රිකාවක් ලෙස සැකසූ කොළයක් ලබා දී තිබේ. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් හයදෙනෙකුගේ නම් එහි සටහන් කර තිබුණ බවද පැමිණිල්ලේ සඳහන් වෙයි. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්‍ෂ, දිලිත් ජයවීර, සිරිතුංග ජයසූරිය යන නම් හය එහි තිබී ඇත.


නගරයට ආගිය දහසකට එම කොළ දී ඡන්ද මධ්‍යස්ථානයක මෙන් කාඩ්බෝඩ්වලින් ආවරණය කළ ස්ථානයක සිට ඡන්දය ලකුණු කර අසල වූ පෙට්ටියකට ඒවා දමා ඇත. පසුව ඡන්ද ගණන් කර එහි ප්‍රතිඵලය යැයි කියන දත්ත මුහුණු පොත මගින් ප්‍රචාරය කර ඇති බවත් දැක්වෙයි. ඇඹිලිපිටියේ ජනතාවගේ තීරණය බව පවසමින් ඒ ඒ අපේක්‍ෂකයා ගත් ඡන්ද ප්‍රමාණය සහ ප්‍රතිශතය ප්‍රස්තාරයක් මගින්ද මුහුණු පොතේ දක්වා ඇත.




ඒ අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් තැනීමේ පනතේ 66වැනි වගන්තිය ප්‍රකාරව මෙම ක්‍රියාව කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සාධාරණයක් ඉටුකරන ලෙස ජනක රත්නායක මහතා පැමිණිල්ල කරමින් ඉල්ලා සිටියේය.ඇඹිලිපිටිය පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධව පක්‍ෂණ ආරම්භ කරන බවයි.

 ජේ. නානායක්කාර