නිවෙසේ ඇති කළ බලු සුරතලා මියයාමෙන් සිත් තැවුලට පත්ව සිටියේයැයි කියන ව්‍යාපාරිකයකුගේ සිරුර නිවෙස අසල ගැඹුරු ළිඳක තිබියදී පෙරේදා (4) සොයාගත් බව කඩවත පොලිසිය පවසයි.මිය ගොස් ඇත්තේ කඩවත, පහළ බියන්විල පදිංචි 64 හැවිරිදි කෝනෙආරච්චිගේ ආරියරත්න නමැති දෙදරු පියෙකි.
මෙම ව්‍යාපාරිකයා රොට් වයලර් වර්ගයේ සුනඛයන් තිදෙනකු ඇතුළු බලු සුරතලුන් හතර දෙනකු ඇති කරන අතර රොට් වයලර් වර්ගයේ සුනඛයකු සතියක් තිස්සේ රෝගී වී සිට ඉකුත්දා මියගොස් සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මියගිය සුනඛයා නිවෙසේ කවිච්චියක් මත තබා අත ගාමින් මියගිය පුද්ගලයා හඬා වැළපීමෙන් අනතුරුව එම සුනඛයාගේ සිරුර වළ දමා තිබූ බව පොලිසිය කියයි.
බලු සුරතලාගේ වියෝවෙන් සිත් තැවුලෙන් සිටි ව්‍යාපාරිකයා තම පුතාට ලිපියක් ලියා පෙරේදා (4) නිවෙසින් අතුරුදන්ව සිට ඇතැයි කියයි.පසුව ඔහු පිළිබඳව සොයා බැලීමේදී ගරාජයක් අසල ගැඹුරු ළිඳක් ළඟ මියගිය අයගේ පාවහන් යුගළ ඇති බව ගරාජයේ සේවකයකු දැක ඒ බව මියගිය අයගේ පුතුට දන්වා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එම මරණය දියේ ගිලීම හේතුවෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කළේය. මහර I කොටස හදිසි මරණ පරීක්ෂක චන්දන රත්නායක මහතා හදිසි මරණ පරීක්ෂණය මෙහෙයවීය.
ගයාන් සූරියආරච්චි
0 Comments