kamala-haris-us

ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ජනාධිපතිවරණ සටනේදී ඩිමොක්‍රැටික් පක්ෂ අපේක්ෂිකා   වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටින බව නවතම ජනමත විමසුමක් මගින් පෙන්වා දී තිබේ.


එක්සත් ජනපදයේ NBC News පුවත් නාළිකාව මගින් පසුගිය ඉරිදා දිනයේදී මෙම ආසන්නතම මත විමසුම සිදු කර තිබේ. එහිදී කමලා හැරිස් 48% ක ප්‍රතිශතයක් දිනා ගෙන ඇති අතර, ට්‍රම්ප් දිනා ගෙන ඇත්තේ 44% ක ප්‍රතිශතයක් පමණකි.ලියාපදිංචි ඡන්ද දායකයන් 1,000 ක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. පසුගිය සැප්තැම්බර් 13 සිට 17 වැනිදා දක්වා කාලය තුළ මෙම මත විමසුම සිදු කර ඇති අතර, එම ප්‍රතිඵලයෙහි 3% ක ප්‍රතිශතයක අඩු හෝ වැඩි වැරැද්දක් ඇති වීමේ අවස්ථාවක් පවතින බවත් NBC News නාළිකාව පවසයි.




පසුගිය ජූලි මාසයේදී කමලා හැරිස් සම්බන්ධයෙන් සිදුකළ මත විමසුමේදී ඇයට පක්ෂව ඡන්දය ලබා දී තිබුණේ 32% ක ප්‍රතිශතයක් පමණකි. ඒ අනුව මෙම ආසන්නතම ප්‍රතිඵලය ඇගේ ඩිමොක්‍රැටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂකත්වය වෙත කැපී පෙනෙන ජනතා කැමැත්තක් හිමිව තිබෙන බව යැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


විශේෂයෙන්ම මෙම ජනතා කැමැත්ත ඉහළ යාම, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පසුව එවකට හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ට ලැබුණු ජනතා කැමැත්තේ ශීඝ්‍ර ඉහළ යාමේ අවස්ථාවට වඩා කැපී පෙනෙන ඉහළ අගයක් ලෙසද සැලකෙයි. මේ අතර ජූලි මාසයේදී සිදුකළ මත විමසුමේදී ට්‍රම්ප්ට හිමිව තිබුණේ 38% ක ප්‍රතිශතයකි. ඒ අනුව මෙම මාස දෙක තුළදී ට්‍රම්ප් තමන් වෙත වන ජනතා කැමැත්ත ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත්තේ 2% ක ප්‍රතිශතයකින් පමණක් බවද විදෙස් මාධ්‍ය පවසයි.


එසේම එක්සත් ජනපදයේ CBS News නාලිකාවද සිදුකළ වෙනත් මතවිමසුමකට අනුවද හැරිස් ට්‍රම්ප්ට වඩා 4% ක ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව අනාවරණය කර තිබේ.

එහිදී හැරිස් 52% ක ප්‍රතිශතයක් හිමි කරගෙන ඇති අතර ට්‍රම්ප් හිමි කරගෙන ඇත්තේ 48% ක ප්‍රතිශතයකි. මෙම ප්‍රතිඵලයේද2% ක ධන හෝ ඍණ වැරැද්දක් ඇති වීමේ අවස්ථාවක් පවතින බව එම පුවත් නාලිකාව පවසයි. පසුගිය සැප්තැම්බර් 18 සිට 20 දක්වා පැවැත්වුණු මෙම මත විමසුම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයෝ 3,129 දෙනෙකු දායක වී තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී මෙම මත විමසුමට අනුව දෙදෙනාම 50% - 50% ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණි.


තත්ත්වය මෙසේ පවතිද්දී කමලා හැරිස් සහ ට්‍රම්ප් අතර දෙවැනි රූපවාහිනි විවාදය ලබන ඔක්තෝබර් 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් තමන් යළිත් වරක් කමලා හැර්ස් සමගින් විවාදයකට නොයන බව ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. දැනටමත් ජනාධිපතිවරණයේ පෙර ඡන්ද විමසීම් ආරම්භවී ඇති බවත්, ඒ අනුව විවාද පැවැත්වීම ඵලක් නොමැති දෙයක් බවත් ට්‍රම්ප් එහිදී පවසා තිබේ.දෙදෙනා අතර පළමු රූපවාහිනි විවාදය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා පැවැත් වූ අතර, ABC පුවත් නාලිකාව ඊට අනුග්‍රාහකත්වය දැක්වීය. එහිදී ට්‍රම්ප්ට වඩා ඉහළ දක්ෂතා දැක්වීමට කමලා හැරිස් සමත් වූ බව දේශපාලන විචාරකයෝ පවසති. මෙම සාර්ථකත්වයත් ආසන්න දින කිහිපයේදී කමලා හැරිස්ගේ ජනප්‍රියත්වය ඉහළ යෑමට හේතුවක් වී තිබෙන බවත් සඳහන් වෙයි.


එක්සත් ජනපද ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව ඡන්දය පැවැත්වීම සඳහා තවත් ඇත්තේ දින 40 කට වඩා අඩු කාලයකි. මෙය 78 හැවිරිදි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ට්‍රප්ගේ තෙවැනි ජනාධිපතිවරණ සටනයි. අවසන්වරට ඔහු ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති ජෝ බයිඩන් හමුවේ පරාජය විය.


මේ අතර මෙවර ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත් වුවහොත් 2028 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කර සිටියේය. එක්සත් ජනපදයේ Sinclair Media Group හා එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබේ. 59 හැවිරිදි කමලා හැරිස් ඉන්දියානු සම්භවයක් සහිත තැනැත්තියකි. ඇය මීට පෙර එක්සත් ජනපදයේ සෙනෙට් සභිකවරියක ලෙස කටයුතු කළ අතර, එක්සත් ජනපද ඉතිහාසයේ පළමු කාන්තා උප ජනාධිපතිවරිය ලෙසද පත්ව සිටියි. එසේම මෙවර ජනපතිවරණයෙන් ඇය ජයගතහොත් වසර 248ක එක්සත් ජනපද ඉතිහාසය තුළ පළමු කාන්තා ජනාධිපතිවරිය බවට පත්වනු ඇතැයිද සදහන් වෙයි.


මේ අතර ලතින් ඇමෙරිකානු රටවලදී කමලා හැරිස් කමියුනිස්ට් පක්ෂ සාමාජිකාවක ලෙස පෙන්නුම් කරමින් ‘කමලා සහෝදරිය’ ලෙස නම් කෙරුණු සමාජ මාධ්‍ය පෝස්ටර් ප්‍රදර්ශනය කෙරෙන බවත් විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් මෙම පෝස්ටර් අසත්‍ය බවත් වාර්තා සඳහන් කර සිටියි.