කොලොන්නාව උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබිය දී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.මෙලෙස මියගොස් සිටියේ වල්ගම්මුල්ල, අලිවලපල්ල පදිංචිව සිටි කේ. ඉසුරු ජනනී චාතුල්‍යා ගුණවර්ධන නැමැති 21 හැවිරිදි තරුණියකි.එල්ලෙමින් තිබූ මළ සිරුර ආසන්නයේ මේසයක් මත ඇය පරිහරණය කරන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයේ කැමරාව සිරුර දර්ශනය වන අයුරින් ක්‍රියාත්මකව තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ඇය විසින් ලියන ලද ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත. කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට උප තැපැල් කාර්යාලයේ රැකියාව සඳහා පැමිණෙන ඇය සවස 6 පමණ වනතෙක් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඥාතියකු පැමිණි අවස්ථාවේ දී තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොරටුව විවෘත කර තිබෙන අයුරුත් දෙවෙනි දොරටුව අභ්‍යන්තරයෙන් වසා දමා තිබෙන අයුරුත් දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව වැල්ලම්පිටිය පොලිසිය වෙත දුන් තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දොර කඩා සිදුකළ පරික්ෂාවේ දී තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයක එල්ලෙමින් තිබුණු දක්නට ලැබූ බව පොලිසිය කියයි. මළ සිරුර ආසන්නයේ ක්‍රියාත්මකව තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයේ කැමරාව පැය දෙකහමාරක අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මකව පැවැති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.
එම ජංගම දුරකතනයේ තැපැල් ස්ථානාධිපතිවරිය අවසන් හෝරා කීපය තුළ තැපැල් කාර්යාලය තුළ
රැඳී සිට සිදුකළ සියලුම ක්‍රියාකාරකම් ගැබ්ව ඇති බවට සැක කරන බවත් එහි රහස් අංකය සොයාගෙන එම දර්ශන පරීක්ෂණ සඳහා සහාය කරගන්නා බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.මියගිය තැපැල් ස්ථානාධිපතිවරිය තරුණයකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති අතර මීට සති තුනකට පමණ ඉහත දී ඇය විසින්ම එය නතර කර ඇති අතර දින කීපයකට පසුව ඇය එම පුද්ගලයා වෙත දුරකථන ඇමතුම් ලබා ගත්ත ද ඔහු විසින් එයට ප්‍රතිචාර නොදක්වා ඇති බවද ඒ පිළිබඳව ඇය සිත් වේදනාවෙන් පසු වූවා ද යන්න සැකයක් පවතින බව පොලිසිය කියයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments