මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේම දෙවැනි ස්ථානය හිමි කරගත් දෙන්නෙකු සිටි අතර කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ විමංසා ජයනදී රත්නවීර සිසුවිය එක් අයෙකි.
ඇය සමඟ විභාගයට පෙනී සිටි නිවුන් සොයුරිය වන ජයනි ගිම්හානී රත්නවීර සිසුවිය ද ඒ සාමාර්ථය 9ක් හිමි කරගෙන ඇත.
වාරියපොළ පදිංචි ඔවුන් දෙදෙනාම වාරියපොළ ශ්‍රී සුමංගල ආදර්ශ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇත. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විමංසා ලකුණු 95ක් ලබා ගත් අතර, නිවුන් නැඟණිය වූ ජයනි ලකුණු 94ක් ලබා ගත්තාය.
විමන්සා බාහිර ක්‍රියාකාරකම්වලට ද දක්ෂතාවක් දැක්වූ අතර, ඇය මේ වසරේ සමස්ත ලංකා පාසල් සමාජ විද්‍යා තරගාවලියේදී දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ද සමත් වූවාය. එසේම ඇය ඔලිම්පියාඩ් තරගවලට ද සහභාගිවී ජයග්‍රහණ හිමි කර ගත් සිසුවියකි. මොවුන්ගේ පියා සෞඛ්‍ය සේවයේ නිරතව සිට විශ්‍රාම ලබා ඇති අතර මව රැකියාවක් නොකරයි.
මේ ජයග්‍රහණය පිළිබඳව විමංසා මෙලෙස පැවසුවාය.
"පවුලටම ඉන්නේ අපි දෙන්නා විතරක් නිසා කුඩා කාලයේ ඉඳලාම අපි දෙන්නා ගොඩක් සමීපව හිටියා. පාඩම් වැඩ කළේ, සෙල්ලම් කළේ, ගමන් ගියේ, කෑවේ බීවේ එකටමයි. හැම විභාගයකටම අපි දෙන්නා එකට එකතු වෙලා පාඩම් කළා. දෙන්නාටම විභාග ගැටලුවක් ආවාම දෙන්නාම එකතු වෙලා ඒවා විසඳන්න උත්සාහ කළා. මේ නිසා ඉගෙනුම් කටයුතු ඉතාම පහසුවෙන් කරගැනීමට අපි දෙන්නටම පුළුවන් වුණා.
මට වගේම නංගිටත් ඒ සාමාර්ථ නවයක් ලැබීම ගැන හරිම සතුටුයි. දැන් අපි දෙන්නාගේම උත්සාහය උසස් පෙළට ජීව විද්‍යා විෂයයන් හදාරා අනාගතයේදී වෛද්‍යවරියන් වී අපේ මව්බිමට සේවය කරන්න. මේ වගේ ප්‍රතිඵලයක් ගැනීමට මගේ අම්මයි තාත්තයි, අපේ පාසලේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මියයි, පන්තිභාර ගුරුතුමිය වන ගංගා සුනන්දනී මහත්මියයි විශාල මඟපෙන්වීමක් කළා."
----
කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා මෙවර සාමාන්‍ය පෙළ දිනූ දෙවැනියන් දෙන්නාගෙන් අනෙක් කෙනාය.
තම ජයග්‍රහණයේ සතුට මෙත්සලා දියණිය අදහස් බෙදාගත්තේ මේ අයුරිනි. ‘‘පවුලේ එකම දරුවා මමයි. පාසලේ වැඩ සියල්ලක්ම මම අවධානයෙන් යුතුව සිදුකළා. ඒ වගේම ඊට පස්සෙ ගෙදර ඇවිත් ඒවා නැවත මගේම ක්‍රමවේදයකට අනුව මෙනෙහි කළා. නිදිවරාගෙන පාඩම් කිරීමක් නම් වුණේ නෑ. අමතර පංතිවලට ගියෙත් නෑ. මගේ පංති භාර ගුරුතුමිය හා විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය මට අධ්‍යාපනිකව දුන්
අත්වැල මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. මම ආසම විෂයන් වන්නේ විද්‍යාව, ගණිතය, සිංහල හා සංගීතයයි. ඇත්තටම මගේ අම්මයි තාත්තයි මට පාඩම් කරන්න කියලා බල කළේ නෑ. ඒ නිසා කැමැති වෙලාවක කැමැති විදිහට පාසල් වැඩ කරමින් නිදහසේ කටයුතු කරන්න මට හැකිවුණා. ඒ සඳහා මගේ ගෙදර හොඳ පරිසරයක් තිබුණා. උසස් පෙළට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීම මගේ අරමුණයි. සංගීතය වැඩිදුර හදාරන්නත් මම කටයුතු කරනවා. මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක් වී ජනතාවට සෙත සැලැසීමයි. ’’
වෘත්තියෙන් වෛද්‍යවරියක වූ කුලුණි මෙත්සලා දියණියගේ මව දීපිකා දමයන්ති මහත්මිය තම දියණියගේ ජයග්‍රහණය ගැන පැවැසුවේ මෙවැන්නකි. “හේවාගම, කඩුවෙල අපේ පදිංචිය. මම සේ්වය කරන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච්.) මගේ සැමියාත් වෛද්‍යවරයෙක්. ඔහු නන්දික රොෂාන්. නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන කේන්ද්‍රයේ සේවය කරනවා. මගේ දරුවාගේ ජයග්‍රහණය ගැන මට ඉතාම සතුටුයි.
දරුවාට අපි ආදරයට කියන්නේ දෝණී කියලා. දෝණිට අපි කිසිම දේකට බලපෑමක් කරන්නේ නෑ. එයාගෙ මාර්ගය එයා තෝරාගෙන යනවා. දෝණි කියල කියන්නේ. අධ්‍යාපනයේ පරිවර්තනයක් විය යුතු යැයි පෞද්ගලිකව මා සිතනවා. අපේ පොතපතින් ලබන අධ්‍යාපනයට වඩා වෘත්තීමය වශයෙන් ව්‍යවසායකයන් බිහි කරන අධ්‍යාපනයක් අවශ්‍යයි. දක්ෂතාව මත පෙළගැසුණු අධ්‍යාපන ක්‍රමයක් අද රටට අවශ්‍යයි.”
0 Comments