lawyer-banned-finance

 ඉඩම් නඩු දෙකක් සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44කට අධික මුදලක් ලබාගෙන එම නඩුවලට පෙනී නොසිටීමෙන් සරත් ඩබ්ලිව්. ද සිල්වා නමැත්තා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ඊයේ (03) නියෝග කළේය.


තුන් මසක් ඇතුළත පැමිණිලිකාර හිමිනමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් ගෙවන ලෙස ද වගඋත්තරකාර නීතිඥවරයාට අධිකරණයෙන් නියෝග කෙරිණි.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධිය සම්බන්ධ හිමිනම විසින් කරනු ලැබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් අනතුරුවය.දිවුලපිටිය වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමි විසින් ගොනුකරන ලද මෙම පැමිණිල්ලේ වගඋත්තරකරු වශයෙන් නීතිඥ සරත් ඩබ්ලිව්. ද සිල්වා නමැත්තා නම් කරනු ලැබ සිටියේය.




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තූරරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තීන්දුවේ මෙසේ සඳහන් වෙයි. පැමිණිලිකාර හිමිනම කුරුණෑගල සහ  මිනුවන්ගොඩ යන දිසා අධිකරණවල ඉඩම් නඩු දෙකක් පවරා තිබූ අතර මෙම ඉඩම් නඩු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රුපියල් 44,50,000/- මුදලක් වගඋත්තරකාර නීතිඥවරයා හිමිනල්ගෙන් ලබාගෙන ඇත.




එහෙත් වගඋත්තරකාර නීතිඥවරයා එම නඩු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් හෝ පෙනී සිටීමක් සිදු කර නොමැත. ඉන් අනතුරුව පැමිණිලිකාර හිමිනම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් වූ කරුණු අනුව පෙනී යන්නේ වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥවරයකුට නුසුදුසු ආකාරයෙන් කටයුතු කර ඇති බවයි. එවැනි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයකුට මෙවැනි ආකාරයේ ක්‍රියාවක් සිදු නොකළ යුතු බව අධිකරණයේ මතයයි.


ඒ අනුව වගඋත්තරකාර නීතිඥවරයා නීතිඥ ධුරයෙන් නෙරපීමට තීන්දු කරන බවද තුන් මසක් ඇතුළත රුපියල් ලක්ෂ 30ක වන්දි මුදලක් පැමිණිලිකාර හිමිනමට ගෙවන ලෙස නියෝග කරන බව ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. පැමිණිලිකාර හිමිනම වෙනුවෙන් නීතිඥ නගීනා විජේසේකර මහත්මිය පෙනී සිටි අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොහාන් සහ බන්දු මහතාත් නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයෝමි කහවිට මහත්මියත් පෙනී සිටියහ.
( රන්ජන් කටුගම්පොල)