maganeguma-issue

 හිටපු බලධාරීන්ගේ බලපෑම් මත නීතියට පටහැනිව 'මග නැගුම' ආයතනය විසින් '2 කේ' නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් කෝටි 1 1/2ක මුදලක් නඩු විභාගය අවසන් වනතුරු නොගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ට ඊයේ (26දා) නියම කළේය.'2 කේ' නමැති ඉදිකිරීම් සමාගමකට අදාළ රුපියල් කෝටි 1 1/2ක මුදල ගෙවීම අනුමත නොකිරීම හේතුවෙන් මග නැගුම' අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණ.'මඟ නැගුම' විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.


මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැගුම' ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් තමන් කටයුතු කළ බවත්, මාර්ග ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් '2 කේ’ නමැති ඉදිකිරීම් සමාගමට ගෙවීමට නියමිතව තිබූ මුදල් ගෙවා අවසන් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එම මුදල් ගෙවා අවසන් කළ පසු අදාළ සමාගමට රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා මඟ නැගුම' අධ්‍යක්ෂ මණ්ඩලයට දිගින් දිගටම බලපෑම් කළ බවද සඳහන් කළේය.


දිගින් දිගටම එල්ල වන බලපෑම් පිළිබඳව 'මඟ නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම්වත් කළ බවද,

එම දැනුම්වත් කිරීම අනුව මෙම මුදල නොගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවද සඳහන් කරන පෙත්සම්කරු මෙම සිදුවීම පාදක කරගනිමින් අමාත්‍යංශයෙහි හිටපු ලේකම්වරයා විසින් තමා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයෙන් ඉවත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇත. තමා එම ධුරයෙන් ඉවත් කළ පසු වගඋත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩබලන සභාපති ධුරයට පත් වූ බවත්, ඉන් අනතුරුව ඔහු 'මග නැගුම' අධ්‍යක්ෂ මණ්ඩලයද විසුරුවා හළ බවත් සඳහන් කරන පෙත්සම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා ගත් අදාළ තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.


තම පෙත්සම විභාග කර තමාගේ මූලික අයිතිවාසිකම් කඩවු බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඬුල්ල අදාළ නියෝගය කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතාද මග නැගුම' ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතාද පෙනී සිටියහ. '2කේ' නමැති ඉදිකිරීම් සමාගම වෙනුවෙන් නීතිඥ චතුර ගල්කේන මහතා පෙනී සිටියේය.
(බුද්ධිමාල් රුබේරු)