mahiyangana-accident

මහියංගණය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ මහියංගණය රජමහා විහාරස්ථානයට නුදුරින් ඇලෑවේල ප්‍රදේශයෙදී පෙරේදා (14 වැනිදා) සවස 1.40ට පමණ අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් මාර්ගයේ නවතා තිබු ත්‍රිරෝද රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි‍ එකම පවුලේ තිදෙනකු බරපතළ තුවාල ලබා එක් අයෙක් මිය ගොස් ඇත.

තුවාල ලැබූ සිව්දෙනා මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදි ඉන් එක් තරුණියක් මියගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි. තුවාල ලැබූ අනෙක් තිදෙනාගේ තත්ත්වය ඉතා බරපතළ බවත් 15 හැවිරිදි දැරියක් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද 12 කණුව ඌරණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එම්. හිමන්ෂි සෙව්වන්දි (24) හැවිරිදි අවිවාහක තරුණියකි. මෙම තරුණිය බැලීම සඳහා අද (16 වැනිදා) දින මනාල මහතකු නිවසට පැමිණීමට නියමිතව තිබූ අතර එම සංග්‍රහ කටයුතු සඳහා නිවෙසට අවශ්‍ය කළමනා රැගෙන ඒමට තම පියා මව සහ නැගණිය සමග මහියංගණය නගරයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙසේ අනතුරට ලක්ව ඇත.

මෝටර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කඩුවෙල වැලිවිට පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

මහියංගණ නගරයේ සිට අධික වේගයකින් පැමිණි මෝටර් රථය බදුල්ල දෙසට ගමන් කර ඇති අතර රියැදුරුට වාහනයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අයිනේ නතර කර තිබූ ත්‍රිරෝද රථයේ පිටුපස ගැටී ඇති අතර ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයන් ඉවතට විසිවී ගොස් ඇත.

මෙම මෝටර් රථය, මහියංගණ රජමහා විහාරයේ පෙරහරට උදව් උපකාර කිරීමට පැමිණි නිළමේවරයකුට අයත් බවත් එම නිළමේවරයාගේ පුතා ද මෙම අනතුර සිදුවන විට මෝටර් රථයේ ගමන් කර ඇත. සිද්ධිය සමථයකට පත් කිරීමට මහියංගන රාජමහා විහාරයේ භාරකාර ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් පොලිසියට නිරන්තරයෙන් පැමිණ ඇති බවට ද තොරතුරු අනාවරණය වේ.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, මහියංගණ සහකාර පොලිස් අධිකාරි පලිපාන යන මහත්වරුන්ගේ උපදේස් මත මහියංගණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(විමුක්ති සංජය පෙරේරා - වියළුව)