mannar-court-case

සාමාන්‍ය ඡන්ද පෝස්ටර දැන්වීමක් මෙන් නොව විනිසුරුවරයෙකුගේ රුව සහිත පෝස්ටර ඇලවීම අධිකරණයට කළ බලපෑමක් බව පෙන්වා දෙමින් මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෝස්ටරයක් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරු ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔවුන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (26දා) නියෝග කළේය.






මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් ඒ මහතාට අපහාසයක් වන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ බව කියන මාතලේ ඉෂාන් රවිෂ්ක, මඩපාත මනෝජ් මධුසංඛ හා ඇරැව්වල ක්‍රිෂාන් නාලක නමැත්තන්ය.සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර [සිටින සැකකරුවන් තිදෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාර්න් විසින් අධිකරණයට ඉදිර්පත් කරන ලදී.


මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීම සම්බන්ධයෙන් චෝදනාලත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම මහාධිකරණයේ විභාග කෙරුණු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිර්මට පෙර දිනය වූ ඉකුත් අගෝස්තු 28 වැනිදා කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව ආසන්නයේ, අලුත්කඩේ මහාධිකරණය ආසන්නයේ, පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදි ජනාකීර්ණ ප්‍රදේශවල මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අන්දමට සැකකරුවන් පෝස්ටරයක් අලවා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාර්න් අධිකරණයට දැනුම් දී තිබිණ.




මහාධිකරණයේ චෝදනා ලැබූ විත්තිකරුවන්ගේ මිතුරන් පිරිසක් මෙම අපරාධය මෙහෙයවා 3 ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇතැයිද සැකකරුවන් විසින් පෝස්ටර් අලවා ඒවායේ ඡායාරූප ලබාගෙන අපරාධය මෙහෙය වූ පුද්ගලයන්ට යවා ඇතැයිද, කී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාහු මෙම පෝස්ටරයෙන් මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වී ඇතැයිද දැනුම් දුන්හ.සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සැකකරුවන්ට අදාළ පෝස්ටර් ලබාදුන් පුද්ගලයින් අනාවරණය කරගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කරන බවත් දැනුම් දුන්හ.


සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සාබ්දික වෙල්ලප්පුලි හා නාලක ජයසිංහ මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන් පෝස්ටර් අලවා ඇත්තේ මුදලට බවත්, රැකියාවට අමතරව මෙවැනි පෝස්ටර් ඇලවීම ඔවුන් දිගින් දිගටම කරගෙන ගොස් ඇති බවත් දැනුම් දුන්හ.සැකකරුවන් සාමාන්‍ය පුද්ගලයන් බවත්, ඔවුන් පසුගිය සමයේ දිගින් දිගටම ඡන්ද පෝස්ටර් අලවා ඇති බවත් සඳහන් කළ නීතිඥවරු ඕනෑම කොන්දේසියක් යටතේ ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය ලබන 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.
බුද්ධිමාල් රුබේරු