minuwangoda-incident

 හිසකෙස් සැකසීම සදහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ‍ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට සම්බන්ධ රූපලාවණ්‍යාගාරය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (26) දහවල් පරීක්ෂා කර මුද්‍රා තබනු ලැබීය.

එහිදී සිදුවීමට මුහුණ දුන් කාන්තාවගේ කොණ්ඩය සැකසීම සඳහා භාවිතා කර තිබූ ආලේපන ද්‍රව්‍ය දෙකක සාම්පල් ලබාගත් බව ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවැසීය.



එසේ ලබාගත් ආලේපන ද්‍රව්‍ය සාම්පල මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනීම කරන බවත් මේ පිළිබඳව සියලුම විමර්ශන කටයුතු අවසන් වන තුරු එම රූපලාවණ්‍යාගාරයට මුද්‍රා තැබූ බව ද නාමල්ගම මහතා කීය. මේ පිළිබඳව අද ( 27 ) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද පැවැසීය.




අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා මගින් අපේක්ෂිත ඇප අයදුම් පතක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා සමග රූපලාවණ්‍යාගාරයට පැමිණ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්හට එහි ඉබි යතුරු විවෘත කර පරීක්ෂා කිරීමට පහසුකම් සලසා දී තිබිණ.රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත අද (27) සලකා බැලීමට නියමිතය.
(කීර්ති ප්‍රනාන්දු)