mirihana-kottawa-women-murder

කන කර අබරණ සහ මුදල් කොල්ලකෑමේ අරමුණෙන් නිවෙස්වල හුදෙකලාව ජීවත් වන කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධීන් පසුගිය කාලය පුරා නොයකුත් ප්‍රදේශවලින් අසන්නට ලැබිණි. එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය එම ඝාතන සිදුකළ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ ඔවුන් තදබල ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් එම කාන්තාවන් ඝාතනය කර ඔවුන් සතු මුදල් සහ රන් අභරණ කොල්ලකා ඇති බවකි.

කෙසේ වෙතත් පසුගිය සතියේ කොට්ටාව සහ මිරිහාන පොලිස් බල ප්‍රදේශවලින්ද මෙවන් කාන්තා ඝාතන දෙකක් වාර්තා වූ අතර එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කතා දෙකකි.

ඉකුත් සැප්තැම්බර් මස 2 වැනිදා මරා දමන ලද ලීලා අබේරත්න මහත්මියගේ ඝාතනයද එවැනි සිදුවීමකි.

ලීලා එක්දරු මවකි. ඇය ජීවත් වූයේ කොට්ටාව, මාලඹේ පාරේ අංක 720 නිවසේ සිය දියණිය සහ ඇයගේ සැමියා සමඟිනි. දියණියගේ සැමියා කොට්ටාව, රුක්මලේ ප්‍රදේශයේ ගොඩනැඟිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.

ඇගේ බෑනණුවන් සහ දියණිය දිනපතා නිවෙසින් පිටව යන්නේ ව්‍යාපාරික කටයුතුවල යෙදීමේ අරමුණෙනි. දෙදෙනා නැවත නිවෙසට පැමිණෙන්නේ ඇඳිරි වැටුණු පසු නිසා දවස පුරා ලීලා නිවෙසේ ගත කරන්නේ තනිවම බව පොලිසිය කියයි. දියණිය විටින් විට දුරකථන ඇමැතුම්දී ලීලාගේ සුවදුක් විමසීමට අමතක නොකළ අතර ඒ නිසා ලීලාට කිසියම් සැනසුමක් සතුටක් ගෙනදී තිබිණි.

ඒ ඉකුත් සැප්තැම්බර් දෙවැනිදාය. උදෑසන නිවෙසින් පිටව ගිය බෑනණුවන් සහ දියණිය සුපුරුදු පරිදි ‘හාඩ්වෙයාර්’ ආයතනයේ රැඳී සිටි අතර ලීලා නිවෙසේ සිටියේ තනිවම කාලය ගතකරමිනි. ඒ අතරතුර ඇගේ දියණිය විටින් විට දුරකථන ඇමැතුම් දී මවගේ සුවදුක් සොයා බැලීමට අමතකද නොකළාය.

කෙසේ වෙතත් වෙනදාට ගත් ඇමැතුමට පිළිතුරු ලබාදෙන මව එදින කිසිදු ඇමැතුමකට ප්‍රතිචාර නොදැක්වීම දියණියට මහත් ප්‍රහේළිකාවක් විය.

කිහිප වතාවක්ම ඇමැතුම් ගත්තද ඒ කිසිවකටත් පිළිතුරු නොදීම නිසා අම්මාට අසනීපයක්වත් දැයි සිතූ දියණිය යළි නිවෙසට පැමිණියේ ඒ ගැන සොයා බැලීමේ අරමුණෙනි.



නිවෙසට පැමිණි ඇයට මවගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීම මහත් ගැටලුවක් විය.

“අම්මේ… අම්මේ… කොහේද…?”

ඇය මව අමතන්නට වූවාය. ඒත් මවගෙන් ඊටද ප්‍රතිචාරයක් නොවීය. ඇය මව සිටින කාමරය වෙත ගියේ ඉන් පසුවය. එවිට ඇය දුටුවේ සිය මව කාමරයේ වැටී සිටින අයුරුය. කාමරයේ රෙදි කැබැලි ආදිය බිමට ඇද දමා තිබිණි.

“අම්මේ… අම්මේ…”

ඇය සිය මව අවදි කරන්නට ගත් කිසිදු උත්සාහයක් සාර්ථක නොවීය. ඇය විලාප තැබුවේ ඉන් අනතුරුවය. ලීලා කිසිදු හැලහොල්මනක් නැතිව බිම වැටී සිටියාය. බියට පත් ඇය දුරකථනයෙන් සිය සැමියාට මේ බව කීවාය. සිද්ධිය කොට්ටාව පොලිසියට දැනුවත් කරන්නේ 119 හදිසි ඇමැතුම් අංශය හරහාය.

කොට්ටාව පොලිස් ස්ථානාධිපති සුභාෂණ වන්නිආරච්චිට සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායමක් ලීලා මහත්මියගේ නිවෙසට ගියේ සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බැලීමේ අදහසිනි.

ලීලා නිදන කාමරයේ ඇඳ අසල වැටී සිටි අතර ඒ වන විටත් ඇය මියගොස් ඇති බව නිලධාරීන්ට වැටහුණේය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහෙස්ත්‍රාත් අනුර හෙට්ටිආරච්චි මහතා ලීලාගේ නිවෙසට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීය. ඉන් අනතුරුව ලීලා මියගියේ කෙසේදැයි දැන ගැනීම සඳහා ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සඳහා කළුබෝවිල ශික්‍ෂණ රෝහල වෙත යොමු කෙරිණි. අධිකරණ වෛද්‍ය නිලධාරි රොද්‍රිගු මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළිවන්නේ ලීලා මියගොස් ඇත්තේ ගෙලට සහ මුවට යොදන ලද පීඩනයක් හේතුවෙන් සිදු වූ හුස්ම හිරවීමෙන් බවය.

ඇගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීම නිසා ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ඇරැඹීමට කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට සිදු විය. ඇගේ ඝාතකයා සොයා පොලිස් විමර්ශන ඇරැඹුණේ ඉන් පසුවය.

සිද්ධිය විමර්ශන කිරීම සඳහා සොකෝ නිලධාරීන්ට අමතරව ඇඟිලි සලකුණු පරීක්‍ෂකයන්ද පැමිණ සිටි අතර ඝාතකයාගේ බවට සැක කරන ඇඟිලි සලකුණු 11ක් පමණ නිවෙසේ තිබී සොයා ගැනීමටද නිලධාරීන්ට හැකිවිය. ඒ අතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමේ අවධානය සී.සී.ටී.වී. කැමරා වෙතද යොමුවිය. එහිදී නිලධාරීන්ට සැකකටයුතු පුද්ගලයකු දැකගත හැකිවිය.

පුද්ගලයකු ලිලාගේ නිවෙසට ත්‍රිරෝද රියකින් පැමිණෙන අයුරුත් ත්‍රිරෝද රියේ ගාස්තුව ගෙවා එම පුද්ගලයා ලීලාගේ නිවෙසට ඇතුළු වන අයුරුත් කැමරාවල සටහන්ව තිබීම විමර්ශනයට මහත් පිටිවහලක්විණි. නිලධාරීන් එම පුද්ගලයා කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ඡායාරූප කිහිපයක් ලබාගත් අතර නිලධාරීන්ගේ සැකයද ඔහු වෙත එල්ල වී තිබිණි.

“ඉන් පස්සේ අපි ඒ පින්තූර මියගිය කාන්තාවගේ බෑනාටත්, දියණියටත් පෙන්නුවා. ඒ පුද්ගලයා මීට කලින් දැකලා තියෙනවද? හඳුනා ගන්න පුළුවන්ද කියලා දැනගන්න.” පොලිස් නිලධාරීන්ගේ එම ප්‍රයත්නය සාර්ථක  විය.



“සර් මේ මිනිහා මගේ හාඩ්වෙයාර් එකේ කලින් වැඩකරපු කෙනා” බෑනණුවන් කැමරාවල සටහන් එම පුද්ගලයා හඳුනා ගැනීම ඉදිරි විමර්ශනයට මහත් පහසුවක් ගෙන දුන්නේය.

“කෝ… දැන් මේකා…?”

“සර්… මේකා දැන්නම් මෙහෙ නැහැ. දවස් ගණනක් මගේ හාඩ්වෙයාර් එකේ වැඩ කළා.. මිනිහගෙ නම්, ගම් සේරම මගෙ ළඟ තියෙනවා.”

ඔහුගේ ප්‍රකාශය අනුව එම පුද්ගලයා මොරගහවැව, නවගත්තේගම පදිංචි මංජුල නමැති අයෙකි.

මංජුලගේ තොරතුරු හෙළි වීමත් සමඟ කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් නවගත්තේගම බලා පිටත් වූයේ මංජුලට සැඟවෙන්නට ඉඩනොදී අත්අඩංගුවට ගැනීමේ අදහසින්ය.

“අපි මංජුලගේ ගෙදරට ගියත් එයා ගෙදර හිටියේ නැහැ…”

පොලිස් නිලධාරියකු කීවේය. මංජුල ගැන අවටින් විපරම් කළ බැලූ නිලධාරීන්ට අනාවරණය වූයේ මංජුල ඒ වන තුරු සිය නිවෙසට නොමැති බවය.

“මූ ගෙදරට ආවොත් මෙන්න මේ නොම්මරේට කෝල් එකක් දෙන්න…” සිය දුරකථන අංකය තොරතුරුකරුවකුට ලබාදුන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා යළි කොට්ටාව පොලිසියට පැමිණියේ හිස් අතිනි.

ගතවූයේ පැය කිහිපයකි…

“සර් අර මංජුලයා දැන් ගෙදරට ඇවිත් ඉන්නේ…”

තොරතුරුකරු අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී තිබිණි. ඒ අනුව නැවතත් නවගත්තේගමට ගිය පොලිස් නිලධාරීන්ට මංජුල කොටුකර ගත හැකි විය. ඒ වන විට වේලාව අලුයම තුනට පමණ වූ අතර මංජුල සිටියේ තද නින්දකය. එය ඔහු අත්අඩංගුවට ගැනීමට පහසුවක් විය.

නිලධාරීන් මංජුලට වචනයකුදු හෝ කතා කිරීමට ඉඩ නොදී ඔහු කුදලාගෙන කොට්ටාව පොලිසියට රැගෙන පැමිණි අතර ඉන් අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹිණි.

“උඹ දන්නවනේ අපි උඹව මෙහෙට ගෙනාවේ මොකටද කියලා. ඒ නිසා බයිලා කියන්නේ නැතිව ඇත්ත කියපන්. බොරු කිව්වොත් උඹව…”

පොලිසිය සියලු දේ දැනගෙන තමන් අත්අඩංගුවට ගෙන ඇති බව මංජුලට වැටහිණි. ඒ නිසා බොරු බේගල් කීමෙන් පලක් නොමැති බව  ඔහුට තේරිණි.

“සර්.. ඒ දවස්වල මම අතේ සතේ නැතිව හිටියේ. ඒ වෙලාවේ මට මතක් වුණා හාඩ්වෙයාර් එකේ මහත්තයාගේ ගෙදර ගියොත් කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා. දවල්ට මහත්තයගේ අම්මා විතරක් ගෙදර ඉන්න බවත් මම දැනගෙන හිටියා. ඒ නිසා මම ඒ ගෙදරට ගියා සල්ලි කීයක් හරි හොයාගන්න.

ඒ වෙලාවේ මහත්තයාගේ අම්මා මාව දැක්කා…”

සැකකරු ලීලා මරා දමන්නේ ඇයගේ හුස්ම තදවන සේ කොට්ටයක් මුහුණට  තබමිනි.



“පස්සේ මම කාමරයම අවුස්සලා සල්ලි කීයක් හරි හෙව්වා. ඒත් හම්බවුණේ නැහැ. පස්සේ තමයි නෝනගේ කරාබු දෙක ගලව ගත්තේ. ඒකත් අරගෙන හෙට්ටිවීදියට ගිහින් රුපියල් පන්දාහකට ඒක උකස් තිබ්බා සර්…”

මංජුල පොලිසිය හමුවේ එසේ කියන්නට විය. ඔහුගේ ප්‍රකාශය අනුව හෙට්ටිවීදියට ගිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මංජුල විසින් උකස් කළ ලීලාගේ කරාබු ජෝඩුවද සිය භාරයට ගත් අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද පියවර ගත්තේය.

කොට්ටාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුභාෂණ වන්නිආරච්චිගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්‍ෂක ජී.ඩබ්ලිව්.බී. චතුරංග ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූහ.

මේ අතර අනෙක් කාන්තා ඝාතනය වාර්තා වන්නේ මිරිහාන පොලිස් වසමෙනි. ඝාතනයට ලක්වන්නේ නීතිඥවරියකි. නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ නිවෙසක් තුළ ඇය මරා දමා තිබිණි. ඒ මන්නා පිහියකින් ගෙල කපා දැමීමෙනි.

ඒ සිද්ධියෙන් මරණයට පත්වන්නේ ජයනී නමැති 35 හැවිරිදි විවාහක කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නේ මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තුෂාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය මඟිනි. පොලිසියේ සැකය නිවෙසින් අතුරුදන් වූ රියැදුරකු වෙත යොමු වූ අතර ඔහු සොයා ගැනීමට මිරිහාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට නොහැකි විය.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවන්නේ අලුත්ගම පොලිසියේ නිලධාරීන්ටය. ඒ සැකකරු බෙන්තොට ගඟට පැන සියදිවි හානිකර ගන්නට ගත් උත්සාහයත් සමඟිනි. අත්අඩංගුවට ගත් සැකකරු නීතිඥවරියගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක්ද ලබාදී තිබේ.

ඔහු පොලිසියට පවසන පරිදි මියගිය නීතිඥවරිය නීත්‍යනුකූල විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියකි. සැකකරු ඇය යටතේ රියැදුරු රැකියාව කළ අයෙකි. ඇය ඝාතනය වන්නේ සැකකරු රියැදුරු රැකියාවෙන් ඉවත් කළ නිසා බවට ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබේ. එහි සත්‍ය අසත්‍යතාව තහවුරු වී නැතත් පොලිසියට ඔහු දුන් ප්‍රකාශය මත හෙළිවන්නේ මෙවැන්නකි.

සැකකරු කිරින්ද, පුහුල්වැල්ලේ පදිංචිකරුවෙකි. රියැදුරකු ලෙස රැකියාව කිරීම සඳහා ඔහු මෙම නීතිඥවරියගේ නිවෙසට පැමිණ ඇත්තේ 2019 වසරේදීය. ඒ නීතිඥවරිය එක්දරු මවකි. පොලිසියට සැකකරු දී ඇති ප්‍රකාශයට අනුව ඔහු නීතිඥවරියගේ නිවෙසට පැමිණ ඇත්තේ ඇගේ රථයේ රියැදුරා ලෙස රැකියාව කිරීමේ අරමුණෙනි.

“මගේ ජොබ් එක ඒ මිස්ගේ දුව ඉස්කෝලෙට ගෙනියන්නයි. මිස්ව ඔෆිස් එකට ගෙනියන එකයි. මට මාසෙට රුපියල් 55,000ක පඩියක් හම්බ වුණා.”

ඔහු පොලිසියට පවසා තිබිණි. ඔහු රැකියාවට පැමිණ තිබුණේ මහරගම, පන්නිපිටියේ කුලී කාමරයක සිටය. ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ නීතිඥවරිය සමඟ ඇති වූ ආරවුලක් මත යළි රියැදුරු රැකියාවට නොපැමිණෙන ලෙස නීතිඥවරිය පැවැසීම එම ආරවුලට මුල් වූ බවය. ඉන්පසු වෙනත් රියැදුරකු ඇගේ රථයේ සේවය සඳහා යොදවා ගැනීමත් සමඟ සැකකරුගේ කෝපය තීව්‍ර වී ඇතැයි කියයි.

පොලිසිය පවසන්නේ වරෙක ඔහු තාප්පයෙන් පැන ඇගේ නිවෙසට ඇතුළු වූ බවත් ඉන් උරණ වූ ඇය තමාට එරෙහිව පොලිසියට පවා පැමිණිලි කළ බවකි. එම නඩුව ගංගොඩවිල අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් ඔහු කියයි.



ඝාතනය සම්බන්ධයෙන් ඔහු පොලිසියට පවසා ඇත්තේ මෙවැන්නකි.

“එදා මම මාළු කපන පිහියකුත් අරගෙන තාප්පයෙන් පැනලා ඒ ගෙදරට ඇතුළු වුණා. නෝනගෙ අම්මයි, නෝනයි හිටියේ ගෙදර සාලයේ පුටුවල වාඩිවෙලා. මම ගෙදරට ඇතුළු වෙනවාත් එක්ක ඒ දෙන්නා පුටුවලින් නැඟිට්ටා. ඒත් එක්කම මම රෙදි බෑග් එකේ දමාගෙන ගිය පිහිය දකුණු අතට අරගෙන නෝනගේ බෙල්ලටයි ඔළුවටයි වෙරදමා ගැහුවා. පිහි පාර කාගෙනම නෝනා එතැනම බිම ඇදගෙන වැටුණා. අම්මා කෑගැහුවා. පහර දුන්න පිහිය එතැන දාලා මම පැනලා දිව්වා”

සැකකරු පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ එසේ ප්‍රකාශ කර තිබේ. නිලධාරීන් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගෙන තිබිණි.

පසුව සැකකරු බස් රියක නැඟී අලුත්ගම ප්‍රදේශයට පැමිණ ඇත. ඒ බෙන්තර පාලමෙන් ගඟට පැන සිය දිවි හානිකර ගැනීමේ අරමුණෙනි.

“මම දැක්කා බෙන්තර පාලම උඩ පොලිස් චෙක් පොයින්ට් එකක් තියෙනවා. ඒ අයට සිද්ධිය කියන්නත් හිතුවා. ඒත් කිව්වේ නැහැ.”

ඔහු වැඩිදුරටත් පවසන්නේය. බෙන්තර ගඟට පැන සිය දිවි තොර කරගන්නට හැදූවද ඔහුගේ සිතට කිසියම් බියක් දැනිණි. පසුව ඔහු අලුත්ගම රා තැබෑරුම අසලට පැමිණ තිබේ. පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ එතැනදීය. එහිදී ඔහු තමා සිදුකළ දේ පොලිස් නිලධාරීන්ට පවසා ඇත. ඔහුගේ කතාව ඇසූ පොලිස් නිලධාරින් සැකකරු මානසික රෝගියකුද නැතහොත් ඔහු පවසන්නේ සත්‍යයක්ද යන්න දැන ගැනීම සඳහා ඔහුව අලුත්ගම පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. පසුව සිද්ධිය මිරිහාන පොලිසියෙන් විමසීමෙන් පසු සැකකරු කියන්නේ ඇත්තක් බව නිලධාරින්ට වැටහිණි.

සැකකරු අලුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලදී. පසුව සැකකරු වැඩිදුර පරීක්‍ෂණ සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත භාරදී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කළුතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත අලුත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළේය. පොලිසියට දුන් ප්‍රකාශ සහ පොලිස් විමර්ශන මත ලිපිය සකස් කෙරිණි.

 කීර්ති මෙන්ඩිස්