ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇති බව පවසමින් ගොනු කර ඇති පෙත්සමට එරෙහිව කරුණු දැක්වීමට විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ප්‍රතික්ෂේප කළේය.
එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.
එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණ බලය අවභාවිත කරමින් මෙම පෙත්සම ගොනුකර ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීමට අවසර දිය නොහැකි බව විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු තුරෙයිරාජා මහතා එහිදී ප්‍රකාශ කළේය.
ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. එහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම නඩුවට අදාළ විරෝධතා සති අටක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නියම කළේය.
වගඋත්තරකරුවන්ගේ සංශෝධිත නාම ලේඛනය සඳහන් පෙත්සම සති හතරක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට නියම විය.
අප්‍රේල් මස 02 වැනිදා පෙත්සම සලකා බැලීමට නියම කෙරිණ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පිරමීඩ් විල්මර් පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජත් මවූසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.
නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆායිස් මුස්තාපා සහ නවීන් මාරපන යන මහත්වරු පෙනී සිටියහ.
(නෙල්කා මැදගෙදර)
0 Comments