namal-leco-vehicle

 ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) සුබසාධන අංශයට අයත් රථයක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවලට යෙදා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට දැනුම් දුන්නේය.




මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ රථයේ රියැදුරාගේ ජංගම දුරකතනයට අදාළ වාර්තා අධිකරණයට කොල්ලුපිටිය පොලිසියට දෙන ලෙස දුරකතන සමාගමේ කළමනාකාරවරයාට නියම කළාය. සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන නාමල් රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ බවත් ඔහුගේ දේශපාලන රැලියක් පසුගිය අගෝස්තු 21 වැනිදා අනුරාධපුර පවත්වා ඇති බවත් දැනුම් දුන්හ.




ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුබසාධන ආංශයට අයත් මොන්ටෙරෝ ජීප් රථයක රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා රථය අලුත්වැඩියා කටයුතු සඳහා ගරාජයට යෙමු කරන බව දැනුම් දී ඇතැයිද පසුව ඔහු හොරොව්පතානේ තම නිවසේ දානයක් ඇතැයි කියමින් ඒ සඳහා දෙදිනක නිවාඩු ලබාගෙන ඇතැයිද දැනුම් දුන් නිලධාරීහු එසේ කියා ඔහු අදාළ මොන්ටෙරෝ ජීප් රථය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුරයේ පැවැති රැස්වීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇති බවට කරුණු වාර්තා වී ඇතැයිද දැනුම් දුන්හ.


මේ සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා අදාළ වාහනයේ රියැදුරාගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු අදාළ ජංගම දුරකතනයේ ඇමතුම් පිළිබඳ දත්ත වාර්තා තමන්ට ලබාදීමට අදාළ දුරකතන සමාගමේ නිලධාරීන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටියහ.ඉල්ලීම පිළිගනිමින් ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළාය.

( මනෝප්‍රිය ගුණසේකර)