north-korea-gov-servents

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ අණ පරිදි එරට රාජ්‍ය නිලධාරීන් 30 දෙනකු ඝාතනය වූ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.දකුණු කොරියානු මාධ්‍ය මේ බව වාර්තා කළේ බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව යැයි ද පැවැසෙයි.




පසුගිය මාස කීපයේ උතුරු කොරියාවට මහ වැසි ඇද හැළුණු අතර ප්‍රදේශ රැසක් මුළුමනින්ම ජලයෙන් යට විය. නායයෑම් ද සිදු විය. ගම්මාන බොහොමයක් පස් තට්ටු වලින් වැසී ගියේ ගම්වැසියන් ද සමග යැයි පැවැසෙයි.ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය උතුරු කොරියානුවන් ගණන 4,000 ක පසු කර ඇතැයි වාර්තා විය. නායක කිම් ජොන් උන්ගේ අණ අනුව ඝාතනය කෙරුණේ, ජල ගැලීම් සහ නායයෑම් හට ගනිද්දී, ඒ සම්බන්ධයෙන් කල්තියා අනතුරු ඇඟවීම් නොකළ, අවදානම ප්‍රදේශවලින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන් යැයි පැවැසෙයි. මොවුන්ගෙන් බොහෝ දෙනා ආපදා කළමනාකාර නිලධාරීන් බව දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.


ඝාතනයට ලක් වුණු 30 දෙනා දූෂිත නිලධාරීන් බවත්, බවත්, ඔවුන් ඔවුන්ගේ රාජකාරි පැහැර හැරි බවත් තහවුරු වීමෙන් පසු ඔවුන් වෙඩි තබා ඝාතනය කරන්නැයි නායක කිම් ජොන් උන් අණ දුන් බව දකුණු කොරියානු බුද්ධි අංශ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.