nugegoda-incident

භාණ්ඩ හා දේපළ විකිණීමට දැන්වීම් පළකරන වෙබ් අඩවියක නිවසක් විකිණීම සදහා දැන්වීමක් පළකළ ශ්‍රී ලාංකිකයකුගේ බැංකු ගිණුමක තිබූ රුපියල් කෝටි 57ක මුදලක් වංචා කළැයි කියන විදේශිකයකු සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (25) නියෝග කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.




නුගේගොඩ පදිංචි ප්‍රසන්න කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්නේය. පැමිණිලිකරුට නුගේගොඩ නිවසක් විකිණීම හා දේපළ සඳහා භාණ්ඩ විකිණීමට දැන්වීම් පළකරන වෙබ් අඩවියක දැන්වීමක් පළ කර ඇති බවත් එම දැන්වීම දුටු විදේශිකයකු වස්ඇප් මාර්ගයෙන් පැමිණිලිකරුට පණිවිඩයක් යොමු කරමින් ඔහු මෙරටට පැමිණි පසු එම නිවස මිලදීගන්නා බවට පොරොන්දුවක් දී පැමිණිලිකරුගේ ගිණුම් අංකය ලබාගෙන ඇතැයි දැනුම් දුන් නිලධාරීන් පසුව පැමිණිලිකරු ඔහුගේ ගිණුම් අංකය වස්ඇප් මගින් විදේශීය ජාතිකයාට යවා ඇතැයි ද කීය.




ඉන් අනතුරුව නන්නාඳුනන විදේශීය ජාතිකයා පැමිණිලිකරුගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි 57 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඇතැයි ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන්නේ යැයිද කී විමර්ශන නිලධාරීහු විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දීමට නියම කළේය.

 
රෝෂන් තුෂාර