nuwan-bopage-speaks

ගම්පොළ පැවති  ජන රැළියක් අමතමින් ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මෙසේ පැවසීය.
 
‘‘අපි ඉන්න මේ උඩරට ගත්තොත් අපි දන්නවා එක්දහස් අටසිය පහළවේ උඩරට ගිවිසුම ගහලා මේ රටේ සියලු ම ප්‍රදේශවල පාලනය ඉංග්‍රීසින්ට භාර දුන්නා. එදා ඒ ගිවිසුම ගහන්න මූලික වුණේ මොල්ලිගොඩලා සහ රත්වත්තලා. අද වෙද්දි මේ රටේ ජනතාවගේ ස්වාධීනත්වය පාවා දෙන විදිහෙ ගිවිසුම් ගණනාවක් අත්සන් කරල ඉවරයි. අයි එම් එෆ් එක ගිවිසුමක් අත්සන් කරල. ඉන්දියාවේ අදානිලා මේ රටේ බල ශක්ති ඒකාධිකාරය ඉන්දියාවට ගන්න, ඖෂධ ඒකාධිකාරය ඉන්දියාවට ගන්න, වරායවල් ටික මිලදී ගන්න, ගුවන්තොටුපළ ගන්න ගිවිසුම් ගහනවා.



එක්දහස් අටසිය පහළවේ ගිවිසුම නිසා මේ රටේ ජනතාවට කැරලි ගණනාවක් කරන්න වගේ ම ජීවිත පූජා කරන්නත් සිදුවුණා. ඒ වගේ මේ අයි එම් එෆ් සහ ඉන්දියා ගිවිසුම් ගත්තොත් පරම්පරා ගණනාවක් මේ රටේ ජනතාවට සටන් කරන්න වෙනවා. රටම යටත් විජිතයක් බවට පත් කරමින් තිබෙන මොහොතක රනිල් වික්‍රමසිංහගේ ඒ ප්‍රතිපත්තියට මේ වෙනකොට විපක්ෂය කියලා හඳුන්වන සජිත් ප්‍රේමදාසලා අනුර  කුමාර ලා සම්පූර්ණයෙන් එකඟ වෙලා.


සජිත්ගෙ මොල්ලිගොඩ භූමිකාව හර්ෂද සිල්වල රඟපානවා, අනුරගේ මොල්ලිගොඩ භූමිකාව හඳුන්නෙත්තිල රඟපානවා. අවසාන වශයෙන් ප්‍රතිඵලය ජනතාව යටත් වීම. මේ යටත් වීම කොච්චර භයානක ද කියනවනම් අද බංගලිදේශයේ බලශක්ති සැපයුම විදුලි සැපයීම නතර කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. එක සුවිච් එකකින් රට යටත්  කරන්න පුළුවන් වෙලා.  මේ යටත්වීමට විරුද්ධව  ගොඩනැගිලා තියෙන එකම සන්ධානය ජන අරගල සන්ධානය විතරයි.




ආර්ථිකය ගත්තත් එහෙමයි. අපි දන්නවා මේ මහනුවර දිස්ත්‍රික්කය ප්‍රියංගනී කියලා කාන්තාවක් ගෑස් පිපිරීමකින් මිය ගියා. රටේ ගෑස් පෝලම් තෙල් පෝලිම් නිර්මාණය වුණේ මේ කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තිය නිසා. මේ රට විනාශ කරපු රනිල් වික්‍රමසිංහත් ඒකට සම්පූර්ණ වගකියන්න ඕනේ. දෙදහස් පහළව - දෙදහස් දාහත කාලය තුළ විතරක් ඩොලර් බිලියන දහයක විතර ස්වෛරී බැඳුම්කර මිලදී ගෙන තියනවා.

ගෑස් පිපිරිලා මියගිය මිනිස්සුන්ගේ නාමයෙන් අපි කියනවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙදර යවල මේ රටේ ජාතික සම්පත් රැකගෙන මේ රටේ රාජ්‍ය ආයතනවල ආදායම් ඉහළ නංවලා ධන කුවේරයන්ගෙන් බදු අය කරගෙන තමයි ආර්ථික ශක්තිමත් කරන්නේ. ඒ දිශාවට ආර්ථිකය ගෙන යනවා වෙනුවට අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනාම මේ කොල්ලකාරී ආර්ථිකයට පක්ෂයි. ධන කුවේරයන්ට පක්ෂයි. ඉන්දියානු බලහත්කාරයට පක්ෂයි. හැබැයි මේ ආර්ථික අර්බුදයට සැබෑ විකල්ප වැඩපිළිවෙලක් එක්ක එන්නේ,  සමාජවාදය ඉලක්ක කරගත්ත වැඩ පිළිවෙළක් සමාජගත කරලා තියෙන එකම ව්‍යාපාරය ජන අරගල සංධානය කුඩය ලකුණ විතරයි.’’