nuwara-eliya-threat

කවුරු බලයට ආවත් තමා නුවරඑළියේ කොන්ත්‍රාත් කරන බවත්, තමාගෙන් පිට වෙනත් කිසිවකුට නුවරඑළියේ කොන්ත්‍රාත් කටයුතු නොදෙන බව පවසමින් කොන්ත්‍රාත්කරුවෙක් නුවරඑළිය තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩට තර්ජනය කර ඇත.

මේ සම්බන්ධව තේරීම්භාර නිලධාරිවරයා නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තා ව්‍යවසායකයන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට USAID ව්‍යාපෘතිය මගින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙළෙද සංකීර්ණය නවීකරණය කරනු ලබයි. මෙම කොන්ත්‍රාත්තුව අයුතු ආකාරයෙන් ලබා ගැනීමට මෙම කොන්ත්‍රාත්කරු උත්සාහ කර ඇති අතර,

ඊට දිස්ත්‍රික් ලේකම්වරයා විරෝධය දැක්වීම නිසා මෙලෙස තර්ජනය කර ඇතැයි අනාවරණය වේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීද මෙම කොන්ත්‍රාත්කරු ඔහුගේ රාජකාරියට බාධා කර ඇතැයි පැවසේ.“මෙතැන ප්‍රෙජෙක්ට් කරන්න මම ඉඩදෙන්නේ නෑ.“යනුවෙන් ඔහු පවසා ඇත.

මෙම කොන්ත්‍රාත්කරු සිය ෆේස් බුක් පිටුව හරහා දිස්ත්‍රික් ලේකම්වරයාට සහ රජයේ නිලධාරීන්ට අපහාසාත්මක දෑ පළකර ඇති අතර, ඇතැම් අවස්ථාවල ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වීඩියෝ කරමින් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට බාධා වන ආකාරයෙන් හැසිරෙන බවද පැවසේ.

මෙම පුද්ගලයා මීට පෙරදී අගමැතිවරයාගේ නම භාවිත කරමින් ග්‍රෙගරි වැවට බෝට්ටු පහක් යෙදීමට උත්සාහ කළ අතර, ඊට අනුමැතිය ද නොලැබුණි.
( සාලිය කුමාර ගුණසේකර, සිතාර ඉරාෂ් වටවල)