නාඳුනන කාන්තාවක් සමඟ ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් ගිය අතරවාරයේදී මීට දින 40කට පමණ ඉහතදී අබිරහස් ලෙස අතුරුදන් වූ එක්දරු පියා ඝාතනය කර මළ සිරුර පානදුර බදුවිල වෙල්යායේ සඟවා ඇත්දැයි යන සැකයෙන් ගුවනින් සහ ගොඩබිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ (11) සිදු කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා අංශයේ නිලධාරීන්, පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම හිරණ පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකෙරිණි.
සඳුන් උදාර අල්විස් නමැති පාණදුර කිරිබේරිය ගල්පොත්ත පාර අංක 428/3හි පදිංචි 31 හැවිරිදි ත්‍රිරෝද රථ රැකියාවේ නියුතු එක්දරු පියා ඉකුත් අගෝස්තු මස 3 වෙනි දින අවසන් වරට පාණදුර කිරිබේරිය ත්‍රිරෝද රථ ගාලෙන් නාඳුනන කාන්තාවක් පැමිණ කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් තිබිණි.
ඔහු එම ස්ථානයෙන් එම කාන්තාව සමඟ කුලී ගමන යන අයුරු එම ත්‍රිරෝද රථ ගාලේම ත්‍රිරෝද රථයක් තබාගෙන කුලී ගමන්වල යෙදෙන අතුරුදන් රියැදුරුගේ පියා සියැසින් දැක තිබූ බව පොලිසිය කියයි.
ඔහු එදින රෑ බෝවන තෙක් නිෙවසට නොපැමිණීමත්, ජංගම දුරකතනයද ක්‍රියා විරහිතව පැවතීම හේතුවෙන් අතුරුදන් පුද්ගලයාගේ බිරිඳ ඒ සම්බන්ධයෙන් එදිනම රාත්‍රී හිරණ පොලිසියට පැමිණිලි කර තිබිණි.
ත්‍රිරෝද රථ රියැදුරුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතරවාරයේදී බණ්ඩාරගම කිඳෙල්පිටිය බදුවිල පාරේ කොටු ගොවිතැන් කරන පුද්ගලයෙකු එම මාර්ගයේ ගමන් කරමින් සිටියදී මී ගහක් අසල කොළ පාටට හුරු ත්‍රිරෝද රථයක් නවතා තිබෙනු දැක තිබූ අතර එහි තට්ටුව මත හා බිම ලේ තැවරී තිබෙන අයුරුත් දැක පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම බල ප්‍රදේශයට අයත් කහතුඩුව පොලිසියේ නිලධාරීන් හා හිරණ පොලිසියේ නිලධාරීන් පැමිණ සිදුකළ පරීක්ෂාවේදී නන්චක්කුවකට සමාන අයුරින් කේබලයක් දමා සැකසූ උපකරණයක් මෙන්ම ඊට අඩි 10ක් පමණ ඈතින් ත්‍රිරෝද රථ රියැදුරු අවසන් වරට පැලඳ සිටි කැප් තොප්පියද සොයා ගැනීමට හැකි වී ඇත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර සළිඳු නමැත්තා විදේශගතව සිටියදී එවකට මෙරට සිටි නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලවා සළිඳුට අයත් යම් දෙයක් සොරකම් කිරීමේ සිද්ධියකට මෙම ත්‍රිරෝද රථ රියැදුරු සහ වඳුරාමුල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයකු 2021 ජූලි මස 12 වෙනි දින පැහැරගෙන වඳුරාමුල්ල ප්‍රදේශයේ සුසාන භූමියට රැගෙන ගොස් පහරදී තිබූ අතර එහිදී මෙම අතුරුදන් ත්‍රිරෝද රථ රියැදුරු මියගිය ආකාරයට සිට ඇති අතර අනිත් පුද්ගලයා එහිදී මියගොස් තිබූ බව පොලිසිය කියයි.
මෙම ඝාතන සිද්ධිය එම වකවානුවේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සළිඳු නමැත්තාට නිලංග නමැත්තා විසින් පෙන්වා ඇතැයි පොලිසිය සඳහන් කියයි.
පහර දුන් පුද්ගලයන් එම ස්ථානයෙන් පිටව යාමෙන් අනතුරුව රියැදුරු එම ස්ථානයෙන් පලා විත් තිබිණි.
එම සිද්ධියෙන් අනතුරුව නිලංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විදේශ රටකට පලා ගොස් තිබූ අතර එම ඝාතනයේ ඇසින් දුටු එකම සාක්ෂිය මෙම අතුරුදන් ත්‍රිරෝද රථ රියැදුරු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය පවසයි.
මේ වන විට විදේශගතව සැඟවී සිටින නිලංග නමැත්තා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ලබාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
රියැදුරුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් කිරිබේරිය ත්‍රිරෝද රථ ගාල අසල සිට බදුවිල වෙල්යාය අසල දක්වා අවට ප්‍රදේශය ආවරණය වන පරිදි
සීසීටීවී කැමරා දර්ශන 50ක් පමණ ලබාගෙන ඔහුගේ බිරිඳ ඇතුළු සමීප ඥාතීන් මෙන්ම පුද්ගලයන් 38 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.පී. හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් ඩ්‍රෝන කැමරා දෙකක් යොදවා බදුවිල මාර්ගයේ අක්කර 97කින් යුත් බදුවිල වෙල්යාය දෙපස කැලෑ ප්‍රදේශය ආවරණය වන පරිදි පැය තුනකට අධික කාලයක් පරීක්ෂා කළද කිසිදු වැදගත් හෝඩුවාවක සලකුණු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
එලෙසම පාණදුර පොලිස් කොට්ඨාසය අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර මහතා ඇතුළු නිලධාරීන් අතුරුදන් රියැදුරුගේ ඥාතීන් පවසන එම වෙල්යායේ කැලෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් සිදු කළද වැදගත් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
ත්‍රිරෝද රථ රියැදුරුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලැබෙන සෑම තොරතුරක් ඔස්සේම පරීක්ෂණ පවත්වන බව විමර්ශන නිලධාරිහු පවසති.
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් පේමරත්න, අධ්‍යක්ෂ මංගල දෙහිදෙණිය මහත්වරුන්ගේ උපදෙස් මත මහජන පැමිණිලි අංශයේ නිලධාරින් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් විමර්ශන සිදු කරති.
මේ සඳහා හිරණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර ද සිල්වා, අපරාධ විමර්ශන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරුන් වන (90316) කනිෂ්ක හා (97843) ඩිලාන් මහත්වරු සහාය වූහ.
(බණ්ඩාරගම - බිමල් ජයසිංහ)
0 Comments