passport-issue-poland

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය හේතුවෙන් නිර්මාණය වී ඇති හදිසි තත්වයට තාවකාලික පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ විදේශ ගමන් බලපත්‍රපොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ අදාළ කර්මාන්තශාලාවේ සංචාරයකට ගොස් ඇත.


යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර තොගයේ නව සැපැයුම්කරු වන්නේ තේල්ස් සමාගම වේ.

එම සමාගමේ දේශීය හවුල්කරු වන ජස්ට් ඉන් ටයිම් ටෙක් නොලොජීස් සමාගම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර සඳහා වූ ටෙන්ඩරය ද මෙම වසර මුල දී හිමි කරගත්තේය.


කෙසේ වෙතත්, ලංසු ව්‍යුහයේ සහ කොන්දේසිවල පසුව සිදු වූ වෙනස්කම් හේතුවෙන් ටෙන්ඩරයේ ප්‍රමාද වීමක් ඇති වූ අතර, ඒ හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර තොගය නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීමටත් ප්‍රථම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පැවැති විදේශ ගමන් බලපත්‍ර පොත් තොගය ඉතා ඉක්මනින් අවසන් වීමට පටන්ගත්තේය.


දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර සැපැයුම්කරු වන එපික් ලංකා සමාගම සහ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගම අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවට යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර අලෙවි කිරීම සඳහා තිබූ තරගකාරි ගැටුම අවසන් කරමින්, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසියාකාරව කළමනාකරණය නොකිරීම හේතුවෙන් පැනනැග ඇති විදේශ ගමන් බලපත්‍ර පොත් හිඟයට තාවකාලික විසඳුමක් ලෙස යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක ඇණවුමක් ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුව කටයුතු කළ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.




විද්‍යුත් ගමන් බලපත්‍රයක් සඳහා යුරෝ 4.62ක මිලක් නියම වී ඇති බවත්, යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොතක් ඊට සත කිහිපයක් අඩුවෙන් ලබා දීමට සැපැයුම්කරුවන් එකඟ වී ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය.පළමු පොත් තොගය ඔක්තෝබර් මස අවසානයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවත්, අලුත් පොත් තොගය පෙනුමෙන් මෙන්ම ආරක්ෂක අංග වලින් ද වෙනස් වනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


ඒ හේතුවෙන් යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත්වල එක් එක් පිටු පරීක්ෂා කර අනුමත කිරීමට ආගමන විගමන නිලධාරීන්ට සිදුවනු ඇති බව ද ආරංචි මාර්ග පැවැසුවේය. කෙසේ නමුත්, යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක ප්‍රමාණය ද ගොඩ ගැසෙමින් පවතින අයැදුම්පත්‍ර සඳහා ප්‍රමාණවත් නොවීමට ඉඩ තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


හදිසි ඇණවුම ලබා දීම සඳහා තේල්ස් සමාගම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිෂ්පාදනය ලබන වසරේ ජනවාරි මස දක්වා කල් දමා තිබෙන බව ද ආරංචි මාර්ග පැවැසුවේය.එපික් ලංකා සමාගම වසර 23ක කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර සැපැයුම්කරු ලෙස කටයුතු කර තිබෙන බවත්,

ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග තිබෙන ගිවිසුම මත යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක හදිසි ඇණවුම සපුරාලීමේ නීතිමය අයිතිය තිබුණේ ඔවුන්ට බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ලබා දුන් ගිවිසුම හරහා යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක ඇණවුම ද එම සමාගමට ලබා දීම මූලික ටෙන්ඩර් උල්ලංඝනය කිරීමක් බව ද ආරංචි මාර්ග පැවැසුවේය.එපික් සමාගමේ යන්ත්‍රයෙන් කියැවිය හැකි විදේශ ගමන් බලපත්‍රය මිලෙන් වැඩි වුව ද එහි වැඩි පිටු ගණනක් තිබෙන බවත්, එම බලපත්‍රවල එක් එක් පිටුව පරීක්ෂා කර අනුමත කිරීම අවශ්‍ය නොවන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

(නාමිණි විජේදාස)