police-report

ගතවූ දින දෙක තුළදී රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා පෞද්ගලිකව ඔවුන් අතර ඇති වූ ගැටුම් මත සිදුවූ බව නිරීක්ෂණය වන්නේ යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.මෙම සිද්ධීන් දේශපාලන පසුබිමක් හෝ දේශපාලන ක්‍රියාකාරකම් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.


ඝාතන සිද්ධීන් හතර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලවල මැතිවරණය හා සම්බන්ධ කර ගනිමින් විවිධ මත පළ වූ බවද හෙතෙම සඳහන් කළේය.මෙතෙක් කරන පරීක්ෂණවලදී මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දේශපාලන පසුබිමක් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වන බවත්, ඝාතන සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මිදිගම හා කළුබෝවිල ප්‍රදේශවලදි සිදුවූ වෙඩි තැබීම්වලට සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ සම්බන්ධතාවක් තිබෙන බවට නිරීක්ෂණය වන බවත්, තංගල්ල හා රස්නායක පුර ප්‍රදේශවලදී සිදු වූ වෙඩි තැබීම් පුද්ගලික හේතු මත සිදුවූ බවට නිරීක්ෂණය වන බවත් නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.


මිදිගම, ගොවියාපාන ප්‍රදේශයේ මාළු අලෙවි සැලකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව මාළු මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි මිදිගම පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඊයේ (19දා) උදෑසන මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබේ.වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූයේ,මිදිගම, තුර්කි ගම්මානයේ පදිංචිව සිටි විජේසේකර ගමාච්චිගේ කැලුම් චතුරංග (අවු.38) නැමැති මාළු ව්‍යාපාරිකයෙකි.




සිද්ධියෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කිර්මෙන් පසු ඔහු මිය ගොස් තිබුණි. ඔහුගේ වෙළෙඳ සැලෙන් මාළු මිලදී ගැනීමට පැමිණි අවුරුදු 38 හා 72 යන වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු ද වෙඩි වැදී තුවාල ලැබූ අතර ඔවුහු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.


ටී 56 වර්ගයේ ගිනි අවියක් හා පිස්තෝලයක් මෙම වෙඩි තැබීමට යොදා ගෙන ඇති බවට පොලීසිය සඳහන් කරයි.ඝාතනයට ලක්වූ මාළු ව්‍යාපාරිකයාගේ සහෝදරයකු වන විජේසේකර ගමාච්චිගේ අමිල සඳරුවන් යන අයද ඉකුත් 2022 වසරේ අගෝස්තු මස 04 වැනි දින ගොවියාපාන ප්‍රදේශයේ හෝටලයක් තුළදී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පොලීසිය පවසයි. මෙම වෙඩි තැබීම ඩුබායිහි දැනට සැඟවී සිටීන පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.




මේ අතර, රස්නායකපුර ප්‍රදේශයේ කුඩා හෝටලයක් පවත්වාගෙන ගිය තරුණ ව්‍යාපාරිකයකු හෝටලය තුළ වෙඩි තබා ඝාතනය කර තිබියදී ඊයේ(19දා) අලුයම සොයා ගත් බව රස්නායකපුර පොලීසිය කියයි.මෙලෙස වෙඩි තබා ඝාතනය වී ඇත්තේ රස්නායකපුර නම්මුවාව පදිංචි 27 හැවිරිදි අබ්දුල් ජබර් ඉසාම් අහමඩ් නැමති විවාහකයෙකි. මෙම ව්‍යාපාරිකයා නම්මුවාව මංසන්දියෙහි කුඩා කඩ කාමරයක් කුලියට ගෙන එහි රොටී හා අනිකුත් කැවිලි සමග කුඩා හෝටලයක් පවත්වාගෙන ගිය අයෙකි.මොහු ඊයේ(19දා) අලුයම තම නිවසේ සිට ඔහුට අයත් ත්‍රි රෝද රථයෙන් මෙම හෝටලයට පැමිණ එහි දොර විවෘත කිරිමට සැරසෙනවාත් සමග වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.


එමෙන්ම, තංගල්ල, නලගම, පොල්තවාන හන්දිය අසල පිහිටි දෙමටවැව අසලදී පෙරේදා(18දා) රාත්‍රී කිසියම් අයෙකු විසින් 33 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ අංක 72/1,නලගම,විතාරන්දෙණිය,තංගල්ල ලිපිනයේ පදිංචි හේවාමාලගේ දේශාන් එරන්ද නැමති 33 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.ඔහු ගවපාලනයේ නිරත වූ අයෙකි.දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු ද යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලඳ පැමිණි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (18දා) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර පලාගොස් ඇතැයි කොහුවල පොලීසිය කියයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කලුබෝවිල, සරණංකර පාර අංක 112/1 දරන ස්ථානයේ හෝටලයක හිමිකරු වන නාඩගම් විශ්වනාදන්(ආනන්ද) යන වයස අවුරුදු (43 ) ක් වන අයෙකු වන බව පොලීසිය කියයි . වෙඩි තබන අවස්ථාවේ ඔහු අයකැමි අංශයේ සේවයේ යෙදී සිට ඇත .