polonnaruwa-z-elephant

පොළොන්නරුව මාදුරුඔය ඉසෙඩ්. ඩී  ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ඊයේ 4 අලුයම වැටුණු ඇතකු කිලෝ මීටර් පහක් පමණ දුරට සැඬ පහරට ගසාගෙන ගොස් ඇති අතර අනතුරුව වෙහෙරගල වනජීවී නිලධාරීහු පැය අටක පමණ මෙහෙයුමක් කර ඇතා ගොඩට ගෙන පිඹුරත්තෑව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ.


අවුරුදු හතළිහක් පමණ වයසැති මෙම ඇතා උසින් අඩි අට හමාරක් පමණ බවත් ඌ ඊයේ අලුයම ඉසඩ්. ඩී. ඇළෙන් වතුර බීමට පැමිණි අවස්ථාවේදී ඇළට වැටී ඇති බවත් වෙහෙරගල වනජීවී නිලධාරීහු සඳහන් කළහ.




ඇතා සැඩ පහරට හසුව කිලෝමීටර් හතරක් පමණ දුරට ගසාගෙන ගිය බවත්, ඌ ගොඩට ගැනීම සඳහා ඇතා වැටී ඇති ස්ථානයට නුදුරින් අවස්ථා කිහිපයකදී ටයර්, කඹ, සහ කොට ආධාරක යෙදුවද ඇතා ගොඩට ගැනීමට නොහැකි වූ බව ද වෙහෙරගල වනජීවී නිලධාරීහු පැවැසූහ. ඇතා සැඩ පහරට හසුව කිලෝමීටර් දෙකක් පමණ ගසාගෙන ගිය අතර ඉසෙඩ්. ඩී. ඇළේ තිබූ කොන්ක්‍රීට් පඩි පෙළකින් ගොඩ ගිය බව ද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.
(මනම්පිටිය නිමල් ජයරත්න)