මරණීය දණ්ඩනය ලැබූ සිරකරුවකුට ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා මාර්ගයෙන් ජනාධිපති සමාව ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ෂාමල් නිස්සංක නමැති පුද්ගලයා ලබන 24 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ 11 නියෝග කළාය.
ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් නීතිඥ මඬුල්ල සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට වරදකරුවී මරණීය දණ්ඩනය ලැබ සිටින සුබ්‍රමනියම් පුණ්‍යමුර්ති නමැති සිරකරුට ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ලවා ජනාධිපති සමාව ලබා දෙන බව පවසා සැකකාර සිරකරුගේ බිරියගෙන් ලක්ෂ 25 මුදලක් ඔහුගේ ගිණුමට ලබාගෙන ඇති බවට
සැකපිට කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සුබ්‍රමනියම් පුණ්‍යමුර්ති නිදහස් නොවීම හේතුවෙන් ඔහුගේ බිරිය විජයදාස රාජපක්ෂ මහතාට පැමිණිලි කර ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත. එසේම සැකකරු මහජන හමුවීම් දිනයේදී විජයදාස රාජපක්ෂ මහතා මුණගැසී ඇති බවත් විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර ඇති බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා අධිකරණයට සැකකරු ඉදිරිපත් කරමින් කියා සිටියේය.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ක්‍රිෂාන් ද අල්විස් මහතා ප්‍රකාශ කර සිටියේ තම සේවාදායකයා ලක්ෂ 25ක මුදල ලබාගෙන තිබෙන්නේ සිරකරුවකු නිදහස කර දීමට නොව ව්‍යාපාරික ගනුදෙනුවක කොටසක් ලෙස ඔහුගේ හවුල්කරුවාගෙන් බවත් හවුල්කරු සිය සේවාදායකයා සමඟ අමනාපවී මෙවැනි වංචාවක් සිදුකර ඇති බවත් කියා සිටියේය.
යූරියා පොහොර ගෙන්වා දීමට සිය සේවාදායකයා සහ හවුල්කරු රුපියල් ලක්ෂ 40ක ව්‍යාපාරික ගනුදෙනුවකට එළැඹී ඇති බවත් ඉන් කොටසක් ලෙස ගුවන් ටිකට් පත් සහ අනෙකුත් ගෙවීම් සඳහා ලක්ෂ 25ක මුදල සිය සේවාදායකයාගේ ගිණුමට බැර කර ඇති බවත් කී නීතිඥවරයා ඉතිරි ලක්ෂ 15ක මුදල හවුල්කරු නොගෙවීම හේතුවෙන් යූරියා පොහොර අඩංගු කන්ටේනර් පෙට්ටි 20 ආපසු හරවා යැවීමටද තම සේවාදායකයාට සිදුවූ බවද ප්‍රකාශ කළේය.
සියලු කරුණු සළකා බැලූ මහේස්ත්රාත්තුමිය ලබන 24 වැනිදා දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ඉදිරි දිනයේදී විමර්ශන අවසන් කර වාර්තා කිරීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.
( සුභාෂිණී සේනානායක)
0 Comments