පොදු පෙරමුණ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුයකු ලෙස හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළ රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල එක්සත් ජාතික පක්ෂ නායකයකු වන සුසන්ත පුංචිනිලමේ රත්නපුරයේ පැවැති සමගි ජන බලවේගයේ රැලියේ වේදිකාවට ගොඩවීමට විරෝධය පාමින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ ඇතුළු ආසන සංවිධායකවරු වේදිකාවෙන් බිමට බැස ඇතැයි වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රත්නපුර ලොරි රථ ගාලේදී පෙරේදා (14 වැනිදා) පැවැත්වෙමින් තිබූ සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් ජන රැලියේ වේදිකාවට විශේෂ ආරාධනාවක් මත සුසන්ත පුංච්නිලමේ මෙලෙස ගොඩ වී ඇති නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ ඇතුළු පිරිසගේ විරෝධතාව නිසා යළි වේදිකාවෙන් බැස ගොස් ඇත.

පසුව හේෂා විතානගේ මන්ත්‍රිවරයා ජන හමුව අමතමින් සුසන්ත පුංචිනිලමේගේ පැමිණීමට දැඩි විරෝධය පා අදහස් දැක්විය. ඔහු පවසා සිටියේ පක්ෂයට සම්බන්ධ වීමට රැල්ලත් සමග කූඩැල්ලන් ආවත් ඔවුන් පක්ෂයට භාර නොගන්නා බවයි. සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම ජය ගන්නා නිසා අපරාධ චෝදනා ලැබූ අය පවා එතුමන් සමග එකතු වීමට පැමිණෙන බවද හේෂා විතානගේ මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සලිත කරුණාරත්න, භානු මනුප්‍රිය වැනි පක්ෂයට අවශ්‍ය පිරිසක් දැනටමත් ගෙන ඇති බැවින් නැවත මෙවැනි අය අවශ්‍ය නැති බවද ඔහු පැවසීය. ඔහුගේ කතාවෙන් අනතුරුව සුසන්ත පුංචිනිලමේ නැවත වේදිකාවට ගොඩ වුවත්, හේෂා විතානගේ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසගේ විරෝධතාව නිසා ඔහුට යළි වේදිකාවෙන් බසින්නට සිදු විය. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැස්වීමට පැමිණ ජනතාව අමතන අවස්ථාවේ සුසන්ත පුංචිනිලමේ වේදිකාව මත නොසිටි අතර සජිත් ප්‍රේමදාස සුසන්ත පුංචිනිලමේ සමග කතා නොකරම රැස්වීම් භූමියෙන් පිටතට ගියේය.

(සුනිල් පියතිලක - කුරුවිට)