puttalam-vote-card

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙහි වෙළෙඳ සැලක තිබියදී ඊයේ(19 දා) උදෑසන හමුවූ නිල ඡන්ද පත්‍රිකා 147ක් පිළිබඳව ඉහළ තැපැල් නිලධාරීන්ගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්.අමිර් මහතා පවසයි. පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් තිල්අඩිය කලාපයට බෙදා දීම සඳහා ලබා දී තිබූ නිල ඡන්ද පත්‍රිකා 5723 ක සංඛ්‍යාවක් අතරින් මෙලෙස 147 ක ඡන්ද පත්‍රිකා තොගයක් අදාළ වෙළෙඳ සැල තුළ තිබෙන බවට ලැබුණ පැමිණිල්ලක් මත එම ස්ථානයට නිලධාර්න් පිරිසක් යවා එම ඡන්ද පත්‍රිකා තොගය ආපසු තැපැල් කාර්යාලයට රැගෙන ඒමට කටයුතු කළ බව තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේදී පැවසීය.




මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට නිල ඡන්ද පත්‍රිකා 47,610 ක් ලැබී ඇති අතර, එයින් 5,638ක් බෙදා දීමට නොහැකි වී ඇති බව කියයි.එසේ බෙදා දිමට නොහැකි වූ ඡන්ද පත්‍රිකාවලින් 1,176 ක් ඡන්ද දායකයන් විසින් පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගෙන තිබේ.එයින් ඉතිරි ඡන්ද පත්‍රිකාවලින් අඩකට ආසන්න සංඛ්‍යාවක් ඊයේ(19දා) ලබා ගැනිමට ඡන්ද දායකයන් පැමිණි බව තැපැල් කාර්යාලය පවසයි.


මෙවර පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට ලැබුණු නිල ඡන්ද පත්‍රිකා 4,7610 ක් කලාප 15 කට බෙදා එම ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සදහා ලියුම්කරුවන් 14 දෙනෙකු යොදවා තිබූ බවද කියයි.කෙසේ නමුත් මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කළ යුතුව තිබූ 14 දින සවස 6 වන විට එය අවසන් කිරිමට නොහැකි විම හේතුවෙන් ඉතිරි ඡන්ද පත්‍රිකා ප්‍රධාන තැපැල් කාර්යාලය භාරයට ගෙන තිබු බවද කියයි.




නමුත් එසේ ආපසු තැපැල් කාර්යාලයට රැගෙන ඒම පසෙක තබා අදාළ ලියුම් බෙදන්නා විසින් මෙලෙස තිල්අඩිය දෙවන හරස් විදිය හා තුන්වන හරස් විදිය පදිංචිකරුවන්ට අදාළ ජන්ද පත්‍රිකා බෙදා නොදී වෙළඳ සැලකට ලබා දීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබේ.කෙසේ නමුත් නිල ඡන්ද පත්‍රිකාවක් කිසිදු ලෙසකින් වෙනත් අයකුට ලබා දිය නොහැකි බව මැතිවරණ නීති වල දැඩි ලෙස සඳහන් කර තිබෙන පසුබිමක මෙලෙස වෙළඳ සැලකට ඡන්ද පත්‍රිකා අන්සතු කිරීම බරපතළ වරදක් ලෙස සැලකෙති.


එවැනි පසුබිමක අදාළ ලියුම් බෙදන්නා විසින් මෙම ඡන්ද පත්‍රිකා 147 ක සංඛ්‍යාව මෙලෙස අදාළ ඡන්ද දායකයින් වෙත ලබා නොදී වෙළඳ සැලකට ලබා දීම බරපතළ තත්ත්වයක් බව කියයි.කෙසේ වෙතත් අදාල නිළ ඡන්ද පත්‍රිකා සම්බන්ධව පුත්තලම ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා විසින් ප්‍රාදේශීය තැපැල් අධිකාර් ඇතුළු ඉහළ නිලධාරීන්ගෙන් ලබා ගත් උපදෙස් මත විශේෂ කණ්ඩායමක් යොදවා අදාළ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව බෙදා දීමට 19 දින දහවල් වන විට නැවත කටයුතු ආරම්භ කළ බව පුත්තලම තැපැල් ස්ථානධිපතිවරයා පවසන්නට විය.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)