ranil-anura-politics

2022 ජුලි 13 වැනිදා උදෑසන වන විට ශ්‍රී ලංකාවේ කිසිම දෙයක ස්ථිර බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඊට යාන්තම් මාස දෙකකට පෙර, රට බංකොලොත් බව ප්‍රකාශ කර තිබූ අතර, ඩොලර් බිලියන 50 කට වැඩි ස්වෛරී ණය ගෙවීම පැහැර හැර තිබුණි. “දේශප්‍රේමී‘ යැයි කියාගත් ජනාධිපතිවරයා බියපත්ව රටින් පලා ගොස් තිබුණේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි. දින කිහිපයක් යනතුරු ශ්‍රී ලංකාව පාලනය කරන්නේ කවුරුන් ද යන්න පැහැදිලි නොවීය. රට නිසැකවම වෙනිසියුලාව, ආර්ජන්ටිනාව හෝ ටියුනීසියාව ගිය අඩි පාරේ ස්ථිරව ගමන් කරන බව පුරවැසියන්ට සහ අනාවැකි කියන්නන්ට හැකි වූයේ, ජනප්‍රිය ජනතා නැගිටීම අත්තනෝමතිකත්වයට සහ ආර්ථික විනාශයකට හේතුවීමෙන් රට තවදුරටත් පසුබෑමකට ලක්වන නිසාය.


ඉන් යාන්තම් වසර දෙකකට පමණ පසුව, ශ්‍රී ලංකාව සිය විදේශ සංචිත නැවත පුරවා ගෙන, 20 වැනි සංශෝධනයෙන් ඉඩ ලැබුණු අධිකාරිවාදී අත්තනෝමතිකව කටයුතු කිරිමේ බලය අර්ධ වශයෙන් අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කොට, ණයහිමියන් සමග සාර්ථකව සාකච්ඡා කරමින්, අධිකරණයේ සහ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය රැකගෙන ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ හා සාමකාමී ජනාධිපතිවරණය පවත්වනු ඇතැයි එම බදාදා උදෑසන කිසිවකුට අනාවැකියක් පවා කීමට නොහැකි විය. 2022 ජුලි මාසයේ දී එම දේවල්වලින් එකක් ගැන හෝ පුරෝකථනයක් ඉදිරිපත් කිරීම ශුභවාදී කාරණක් වුවත්, ඒ සියල්ල සිදුවනු ඇතැයි අනාවැකි කීම තනිකරම උමතුවක් විය හැකිව තිබුණි.




රාජ්‍ය නායකයා ලෙසින් තවත් වසර පහක කාලයක් සඳහා ඔහුට රට බාර දීමට මෙම ජයග්‍රහණ පමණක් ප්‍රමාණවත් නොවන බව ඡන්දදායකයන් තීරණය කර ඇති නිසා රනිල් වික්‍රමසිංහ තවදුරටත් මේ රටේ ජනාධිපති නොවේ. කෙසේ වෙතත්, ඔහු මැතිවරණ දේශපාලනයෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කරන විට, වසර 15 කට පසු තෙවැනි වරටත්, අර්බුදයට ලක් වූ රටක පාලනය බාරගෙන ගෙන, තම උරුමය අමතක වීමේ අද්දරෙන් ඉවතට හරවා යවමින් ශක්තිමත්ව තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් ලැබී තිබේ.


2001 සහ 2015 දී අගමැති ලෙස කටයුතු කළා සේම, 2022 ජනාධිපති ලෙසත් වික්‍රමසිංහ මහතා එහි බරපතළකම පැහැදිලි කිරිමට කාලය නාස්ති නොකර, විදේශීය හා දේශීය පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් ආර්ථික විපත්තිවලින් රට මුදා ගැනීමට කටයුතු කළේය. එහෙත් 2001 සහ 2015 වසරවල මෙන්ම, වික්‍රමසිංහ යළිත් වරක් තමා ගනුදෙනු කළ අය අතින්ම ආබාධිත තත්වයට පත් විය.


ඔහු අගමැති ලෙසින් 2001 සහ 2015 දී, ඔහු ඉවසා අවසානයේ ඔහු සමඟ ගැටුණු ජනාධිපතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේය. 2022 දී ජනාධිපති ලෙස ඔහුට, රාජපක්ෂ පවුල විසින් විශ්වාසයෙන් බාර දෙනු ලැබූ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු බහුතරය සහ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ කටයුතු කිරීමට සිදුවිය. තමා ජනාධිපති ලෙස තේරී පත් වී තමාගේම කැබිනට් මණ්ඩලයක් සහ කණ්ඩායමක් තෝරා ගැනීමට බලය ලබා දෙන්නේ නම් තමාට කළ හැකි දේ සිතා ගන්නා ලෙසට වික්‍රමසිංහ නොයෙක් වර ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර ඇත.


යථාර්ථයෙන් පිට පැනීම


කෙසේ වෙතත්, ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස හෝ මෑතකාලීනව ජනාධිපතිවරයා ලෙසත් පෙනී සිටියේ, සාමාන්‍ය පුරවැසියන්ගේ දුක්ඛිත තත්වයට වඩා තමන්ගේ දේශපාලන සහ පෞද්ගලික ප්‍රතිලාභ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන පෞද්ගලික කාර්ය මණ්ඩලයක් වට කරගත් නායකයකු ලෙසිනි. ඔහුගේ පණිවිඩය ජනතාව අතරට ගෙන යා හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දිය හැකි කණ්ඩායමක් ගොඩනගනවා වෙනුවට, තමාගේ හෝ පුරවැසියාගේ අවශ්‍යතා හදවතේ නැති අය විසින් තමාව යථාර්ථයෙන් සහ විරුද්ධ මත වලින් ඈත්කර හැරීමට ඔහු ඉඩ දුන්නේය. වසර 30කට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව, මහත් වෙර වීරියෙන් ලුහුබැඳ ගිය අවස්ථාව ඔහුට කිසිදා නොලැබුණේ මේ අසාර්ථකත්වය නිසාමය.


කිසිවකුත් බාර ගැනීමට පවා එඩිතර නොවූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය දෙවසර තුළ විපත්තියෙන් ගලවා ගත්තද, වික්‍රමසිංහ විශේෂයෙන් දුප්පත්ම ශ්‍රී ලාංකිකයන්ගේ දුක් වේදනා සම්බන්ධයෙන් උදාසීන බවක් දක්වන්න අයෙක් යැයි සලකනු ලබන අතර, ඔහු වටා සිටින අය දකින්නේ ස්පර්ශයෙන් සමෘද්ධිමත් වන බවකි.


ඉතිහාසය ඔහු සිහිපත් කරනුයේ මෙම ඛේදනීය දේශපාලන අසාර්ථකත්වය සඳහා නොව, තුන්වරක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුදාගත්, සාපරාධී අපකීර්තිය අහෝසි කර, එල්.ටී.ටී.ඊ.ය බිඳ දමමින්, ඔවුන්ගේ අවසාන අභාවයට වේදිකාව සකසා ඔවුන් මුලිනුපුටා දමා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 19 සහ 21 වැනි ප්‍රගතිශීලි සංශෝධන හඳුන්වා දුන් නායකයා ලෙසින්ය.




පසුගිය සතියේ වික්‍රමසිංහගේ ජනාධිපති ධූරයට හිරු බැස ගියේ වික්‍රමසිංහ අසාර්ථක යැයි සිතූ ධනවත්, දුප්පත්, මහලු, තරුණ, ගැහැනු, පිරිමි බේදයකින් තොරව සෑම ජනවාර්ගික ප්‍රජාවක්ම නියෝජනය කරන මිලියන 5.7ක් ශ්‍රී ලාංකිකයන්, තමන්ට සාර්ථක යැයි සිතුණු අනුර කුමාර දිසානායකට රට භාර දීමට තීරණය කිරීමත් සමගය.

ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔහු සමීපව අනුගමනය නොකළ හෝ සහාය නොදැක්වූ බොහෝ දෙනකුට ඔහු ප්‍රහේලිකාවක් ලෙසින් පැවතීමයි. ඔහුගේ දේශපාලන ඥානය නිසා, මාධ්‍ය තුළ තම පෞද්ගලික ප්‍රතිරූපය “කරකැවීමට” කැප වූ කණ්ඩායමක් යොදා නොගත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයා දිසානායක විය හැකිය. මෙය ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ඔහු නොගැළපෙන ලේබල් වලින් කොටු කර කූඩු කරගැනීමට පහසු කර ඇත.


දිසානායක යනු ශ්‍රී ලාංකිකයන් විසින් ඡන්දයකින් පත්කර ගත් පළමු උපාධිධාරි ජනාධිපතිවරයා බව දන්නේ ස්වල්ප දෙනෙකු නිසා ඔහු “බුද්ධිමතුන්ට විරෝධය දක්වන්නකු” ලෙසින් ලේබල් කර ඇත.


ඔහු ජනතා විමුක්ති පෙරමුණ බාරගෙන එන්ජිපී පිහිටුවීමේ සිට 2018 දින 52 කුමන්ත්‍රණය ඇතුළුව 2005 සිට රාජපක්ෂවරුන් පරාජය කිරීමට දරන සෑම උත්සාහයකම ප්‍රධාන පෞද්ගලික භූමිකාවක් ඉටු කර තිබුණද, ලිබරල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා හෝ ඒවා ක්‍රියාත්මක කිරීමකදීම ප්‍රබලම ලිබරල්වාදියෙක් ලෙසින් හඬ නැගුවද, ඔහු අරාජිකවාදියකු හෝ ඒකාධිපතියකු ලෙස ලේබල් කර ඇත. ගජමිතුරු ධනවාදයෙන් තොර විචිත්‍රවත් පුද්ගලික අංශයක් සඳහා තීරණාත්මක භූමිකාවක් අවධාරණය කරන වේදිකාවලට ඔහු දෙවරක් ගොඩ නැගුණද, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හෝ කැනඩාවේ වැනි රටවල බොහෝ ආණ්ඩුවලට මධ්‍ය- වාමවාදීන් ප්‍රතිපත්තිමය තනතුරු දැරුව ද, අනුර කුමාර දිසානායක අන්ත වාම කොමියුනිස්ට්වාදියකු ලෙසින් ලේබල් කර ඇත.


මෙය 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරි පත්වීම සමග සංසන්දනය කිරීමේ දී වෙනස් තත්වයකි. රාජපක්ෂට ඇත්තේ දිසානායකගේ සුදුසුකම්වලින් කොටසකි. ඔහු යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී හමුදාවෙන් ඉවත් වී, ශ්‍රී ලංකාව හැර දමා ගොස්, වෙනත් රටකට පක්ෂපාතී බව ප්‍රතිඥා දී, ඔහුගේ පුරවැසිභාවය ද අතහැර දැමූ අතර, ඔහු ආපසු ශ්‍රී ලංකාවට ආවේ ඔහුගේ සොහොයුරාගේ ආරක්ෂක ලේකම් ලෙස බලය ලබා ගැනීමටය.


තමා බුද්ධිමතෙකු ලෙස හඳුන්වා ගැනීමට “වියත්මග” සංවිධානය ආරම්භ කළේය. එපමණකින් නොනැවතී, මුළුමනින්ම පාහේ බහුතර භීතියට අනුග්‍රහය දැක්වීම සඳහා ඔහු ප්‍රචාරක කටයුතු කළේය. එහෙත් ඔහුගේ මේ නැග්ම ශ්‍රී ලංකාව එක්සේසත් කරන සබුද්ධික, දේශප්‍රේමී තාක්ෂණවේදියකු ලෙස පුළුල් ලෙස පැසසුමට ලක් විය.


කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පෙර සිටම ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය යාන්ත්‍රණය තම සතුරන්ට එරෙහිව යොදා ගැනීමට උත්සාහ ගත්තේය. ඔහු භීතිය සහ විජාතික භීතිකාව හරහා රට පාලනය කළ අතර, කොවිඩ් වසංගත සමයේදී මුස්ලිම්වරුන්ට වධ හිංසා පමුණුවා ඔවුන්ගේ මෘත දේහ ආගමික පදනමට පටහැනිව ආදාහනය කිරීමට නියෝග කළේය.


අවසානයේ දී ජ්‍යෝතිෂ්‍ය උපදෙස්වලට අනුව ව්‍යාප් විද්‍යාත්මක වැරදි කළමනාකරණය හරහා ආර්ථිකය අවුල් ජාලයක් බවට පත් කළේය. එහෙත් 55 හැවිරිදි අනුර කුමාර දිසානායක ඊට ඉඳුරාම වෙනස් මගක් ගනිමින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස තේරි පත් වූ දා සිට ගත වූ වසර 10 පුරාවට ඔහුගේ අඛණ්ඩතාව සහ දේශපාලන බුද්ධිය ප්‍රදර්ශනය කර ඇත. බලය වෙනුවෙන් බලය ගැන අසාමාන්‍ය ලෙස සුපරික්ෂාකාරී වන අතරම, තමාට හෝ තම පක්ෂයට දේශපාලන හානියක් සිදු වුවත්, රටේ යහපතට හේතු වන දේශපාලනික වශයෙන් නිර්භීත තීරණ ගැනීමෙන් ඔහු අනෙකුත් පක්ෂ නායකයන්ගෙන් කැපී පෙනේ.




එය පළමුවරට ප්‍රදර්ශනය වූයේ 2014 මැයි මාසයේ දී ලන්ඩන් නුවරදී ය. ජවිපෙ නායකත්වයට පත් වී කෙටි කලකට පසු, 1971 සහ 1987 ප්‍රචණ්ඩ කැරලිවල දී තම පක්ෂය විසින් සිදු කරන ලද සංහාරය ගැන ඔහු විවෘතව සමාව අයැද සිටි අතර, එම ඛේදවාචක පිළිබඳ ඔහුගේ ඉදිරිදර්ශන බෙදාහදා ගත්තේ දුර්ලභ ගනයේ අවංකභාවයක් ප්‍රදර්ශනය කරමිනි.ඉන් වසරක් යන්නට මත්තෙන් ඔහු 2015 දී රාජපක්ෂ පාලනය පරාජය කිරීමට පෙළ ගැසුණු ඒකාබද්ධ විපක්ෂයේ පිටුපසින් ජනතා විමුක්ති පෙරමුණේ බර තැබුවේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සඳහා ප්‍රධාන සාධකයක් වුවද, දිසානායක තම පක්ෂයට සභාග ආණ්ඩුවකට එක්වීම සඳහා වූ ආරාධනය ප්‍රතික්ෂේප කළේය. එසේ කළේ කැබිනට් අමාත්‍යාංශවල උගුලේ නොවැටී, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් රජය ආරක්ෂා කිරිම සඳහාය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිසානායක, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය, කමිටු භූමිකාව සහ ව්‍යවස්ථාපිත නීතිය පිළිබඳව දැඩි අවබෝධයක් පෙන්නුම් කළේය. 2018 දින 52 ක කුමන්ත්‍රණය අතරතුර, හිටපු ජනාධිපති රාජපක්ෂ නීතිවිරෝධී ලෙස අගමැති ධුරයට පත් වූ විට, දිසානායක කිසිදු පැකිලීමකින් තොරව, ජනප්‍රිය නොවන වත්මන් පාලනය බේරා ගැනීම සඳහා ජවිපෙ පෙළ ගැස්වීය. එසේ කිරීම තම පක්ෂයට දේශපාලනිකව සියදිවි

නසාගැනීමක් බව ඔහු දැන සිටි නමුත් ගෙවීමට සිදුවන මිල කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවට ඔහු අවධාරණය කළේය.

මේ සති අන්තයේ, ඔහුගේ ජයග්‍රහණය සහතික වූ විට, ඔහුගේ පළමු ප්‍රමුඛතාව වූයේ රට එක්සේසත් කිරීමට උත්සාහ කිරීමයි. තම ජයග්‍රහණය සැමරීමෙන් වළකින ලෙස ඔහු තම ආධාරකරුවන් දිරිමත් කළේය.


මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සැමරිමට අවශ්‍ය දෙයක් නොවන බවත්, එය සැමරීමට වටිනා දෙයක් ඉටු කිරීම සඳහා ලැබූ අවස්ථාවක් බවත් ඔහු පැවසීය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුමට තම කැපවීම යළිත් තහවුරු කළේය. ඔහුගේ සමාරම්භක උත්සවය වාමාංශිකයන් පමණක් නොව, අනුර කුමාර දිසානායකගේ පාලන තන්ත්‍රයකින් වඩාත්ම බිය විය යුතු යැයි සැලකෙන සමාජයේ ඉතා ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ වෘත්තිකයන් කිහිප දෙනකු සහභාගී වූ රසික රසිකාවියන් නොමැති ඉතා චාම් උත්සවයක් විය.


පොළවට පය ගසා සිටීමේ හැකියාව


දිසානායක ඡන්දදායකයන් වෙත කරන ආයාචනයෙන් බොහෝමයක් පැමිණෙන්නේ ඔහු එක රැයකින් දේශපාලන සංසිද්ධියක් බවට පරිවර්තනය වී තිබෙන තත්වයක දී පවා පහළට බැස සිටීමට ඔහුට ඇති හැකියාව මගිනි. 2015 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බාරගෙන යන්තම් වසරකට පසුව මට මෙය සියැසින් දැක ගැනීමට හැකිවිය. මා දන්නා හඳුනන ගෘහ සේවකයකු, ඔහුගේ පක්ෂයේ සාමාජිකයකු වූ අතර, ඔහු වරක් හෘදයාබාධයකින් පෙළෙමින් රෝහල් ගතකර භයානක ශල්‍යකර්මයකට භාජන කිරීමට සූදානම්ව සිටියේය. ඔහු ජිවත් වෙයිද? මිය යයිද? කියා කිසිවකුවත් දැන සිටියේ නැත.


ශල්‍යකර්මය කිරීමට කලින් එම පුද්ගලයා එක ඉල්ලීමක් කළේය. ඒ තමා අගය කරන තම පක්ෂයේ නායක අනුර දිසානායක හමුවී ඔහුට මුහුණට මුහුණ කතා කිරීමට ආශාවක් ඇති බවය. මම දිසානායකට මේ බව සැලකළ විට ඔහු නොපමාව රෝහලට පැමිණියේය. මම ඔහුට ආචාර කොට, ඔහු අදාළ කාමරයට යද්දී රෝගියාගේ පසුබිම සහ රෝග තත්වය පිළිබඳව දිසානායක මගෙන් තොරතුරු විමසා සිටියේය.


එදා ඔහු රෝහල් ඇඳ ළඟ සිට රෝගියා දෙස බලා සිටින විට විස්මයට පත් වූයේ මමද? රෝගියාද කියලා මට සිතා ගැනීමට නොහැකි විය. ශල්‍යකර්මයෙන් පසු ඔහු නැවත එම පුද්ගලයා බැලීමට නැවත පැමිණෙන බවට පොරොන්දු වූ දිසානායක බිය වීමට හේතුවක් නැතැයි කීවේය. ඒ කියූ ලෙසටම ඔහු නැවත වරක් රෝගියා බැලීමට පැමිණියේය. දිසානායක පසුගිය දශකය නිහඬව ගත කළේ විවිධ මතවලට නිරාවරණය වෙමින් වෙනස් දේශපාලන පසුබිම්වල සිටින ඔහුගේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් ඔහුගේ හිටපු කැරලිකාර පක්ෂයේ අඛණ්ඩතාව විවිධත්වය හා දේශපාලනිකත්වය සමඟ ඒකාබද්ධ කොට ජාතික ජන බලවේගය වැනි පුළුල් සන්ධානයක් ගොඩ නැගීමටයි.අනුර කුමාර දිසානායක මොන වගේ නායකයකු වේදැයි අනාවැකි කීමට කිසිවකුටත් නොහැක. එහෙත් එක දෙයක් පමණක් කීම හැකියාශ්‍රීලංකාව කිසිදු දිනෙක ඔහු වැනිං නායකයකු තෝරාගෙන නොමැති බවය.

ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ
(ඩේලි එෆ්ටී පුවත්පතට පළ කළ ලිපියේ පරිවර්තනය අනිල් කරුනාරත්න)