මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද සිදුකෙරුණි.
සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත් වුණි.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉන් අනතුරුව කුලසානය ලකුණනින් යුත් "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" නමින් නව පෙරමුණ එළිදැක්වුණි.
එහි නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් හොබවන අතර ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ දේශපාලන මතවාද නියෝජනය කරන පක්ෂ රැසක සහභාගිත්වයෙන් ගොඩනැගෙන පුළුල් සංධානය මෙය බව කියා සිටියේය. ඔහු මෙසේ කීය.
"වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන තත්ත්වයන් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතර මන්ත්‍රීවරු තවත් පක්ෂ ගණනාවක් මේ සඳහා එක්ව අනාගතවාදීව නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අරමුණින් සංධානගත වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් පාලන මන්ත්‍රීවරු ඉදිරියේදී ගන්නා දේශපාලන ස්ථාවරය පිළිබඳව කුකුසක් මේ රටේ ජනතාවට තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කටයුතු කළ බහුතරයක් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කළා. ඔවුන් වාමවාදී මධ්‍යස්ථ මත දරණ පිරිසක්. ඒ සියළු දෙනා අනාගතයේදීත් එම මධ්‍යස්ථ දේශපාලන මතය දරමින් ශ්‍රී ලාංකික ජනතාවට සේවය කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා දේශපාලන වේදිකාවක අත්‍යවශ්‍යතාවයක් ඇතිවුණා. ඒ වේදිකාව නිර්මාණය කර ගැනීමේ අරමුණින් තමයි මේ පුළුල් සංධානය ගොඩනැගීමට තීරණය කළේ. ඉදිරි මැතිවරණවලදී එක කණ්ඩායමක් ලෙස සමාන අදහස් හා ප්‍රතිපත්ති ඒ කණ්ඩායම සමඟ එකතු වෙලා කටයුතු කිරීම අරමුණ වෙනවා.
ජනධිපතිවරණ මැතිවරණ සටන දැනටමත් ඇරඹිලා තිබෙන නිසා අපේ ඊළග ඉලක්කය අපිට මැතිවරණය සහ ස්ථාවර දේශපාලන පදනමක් දීර්ඝ වශයෙන් ගොඩනගා ගැනීමයි. සමාන මතයන් සහිත පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා. ඉදිරියේදී පොදුජන එක්සත් පෙරමුණේ කැමති අය අපි සමග එකතු වෙන්නත් පුළුවන්. මේ සන්ධානයේ සෑම කෙනෙක්ම වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කටයුතු කරන අය. මේක අනාගතවාදීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. අනාගත දේශපාලන ප්රවාහයන් නියෝජනය කරන කණ්ඩායමක්. යම් දේශපාලන පක්ෂවල ප්රජාතන්ත්රවාදය අවුල් සහගත වෙලා තියෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව නූතන ජනවාදීන්ගෙන් යුක්ත ප්රජාතන්ත්රවාදී දේශපාලන ව්‍යූහයක් නිර්මාණය කිරීම."
0 Comments