ranil-haputhale

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (8) හපුතලේ පැවති ජන රැලියකදී වතුකරයේ ජනතාවට නව බලාපොරොත්තු ලබා දුන්නේය. "රනිල්ට පුළුවන්" යන තේමාව යටතේ පැවති මෙම රැලියේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලයින් කාමර යුගය අවසන් කර, වතුකරයේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කරන බවයි.


"අපි ලයින් කාමර ක්‍රමය අවසන් කරනවා. වතුකරයේ ගම්මාන ඇති කර එම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. එවිට එම ජනතාවට ද ගමේ ජනතාවට ලැබෙන වරප්‍රසාද හිමි වෙනවා," යැයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද විස්තර කළේය. ඔහු පැවසුවේ පසුගිය වසර දෙක තුළ ගත් ක්‍රියාමාර්ග නිසා රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීම සහ ඩොලර් බිලියන 10ක ණය සහනයක් ලබා ගැනීම ඔහු විශේෂයෙන් සඳහන් කළේය.
"කෙසේ හෝ අද අප මේ රටේ ආර්ථිකය ශක්තිමත් කර තිබෙනවා. ඉදිරියේ දී රුපියල තවත් ශක්තිමත්වීමත් සමග භාණ්ඩ මිල තවත් අඩු වෙනවා," යැයි ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ගෙන ඇති පියවර ද පැහැදිලි කළේය. ඒ අතර කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත හඳුන්වා දීම සහ කාන්තා හිංසනය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම ඇතුළත් වේ.