ranil-kandy

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15 වැනිදා) පෙරවරුවේ සහභාගි වූයේ මහනුවර නගරයේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා“ජන හමුවටය. පැමිණ සිටි ජනතාව ජනාධිපතිවරයා අත්පොලසන්දී

පිළිගැනීමෙන් අනතුරුව සංවිධායකයන් විසින් ඔහු වේදිකාවට කැඳවාගෙන ගියේය. වේදිකාව ඉදිරිපස සිටි කාන්තාවක් හඬමින් සිටින ආකාරය ජනාධිපතිවරයා දුටුවේ ඔහු අසුන්ගෙන සිටියදිය .ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ට කතා කර “ඇයි අර කාන්තාවක් අඬන්නේ. පොඩ්ඩක් බලන්න’’ යැයි කීවේය. ආරක්ෂකයන් ඇය අසලට ගොස් ඇඬීමට හේතුව විමසුවේය.



“මේ අපේ ජනාධිපතිතුමා... පොඩි කාලේ ඉඳලම මම ජනාධිපතිතුමාගේ කතා අහනවා.. එතුමා අද වයසට ගිහින්... වෙනස් වෙලා.’’ යැයි කියමින් ඇය හඬන්නට විය. ජනාධිපතිවරයාට ආරක්ෂකයන් සිද්ධිය සැලකර සිටියේය. ජනාධිපතිවරයා එම කාන්තාවගේ දියණියද වේදිකාවට ගෙන්වාගෙන සැප දුක විමසුවේය. ජනාධිපතිවරයා සිය කතාවෙන් අනතුරුව මෙම කාන්තාව මුණ ගැසීමට කතාබහ කළේය.

“ඔබතුමා තමයි මේ රටේ අනාගතය භාර ගන්න ඕනේ. අපේ දරුවන්ගේ අනාගතය ඔබතුමා භාරගන්න..’’ යැයි ඇය සිය දියණිය ඇතුළු දරුවන් පෙන්වමින් කියා සිටියාය. ඇය අනතුරුව හඬා වැටෙමින් ජනාධිපතිවරයාට වැඳීමට ද අමතක නොකළාය.
(සාලිය කුමාර ගුණසේකර)