ranil-sajith-defeat

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් සජඛ හා එජාපයේ හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාත් තමන්ට ජයගත හැකිව තිබූ මෙවර ජනපතිවරණයේ ජයග්‍රහණය ඛන්දේසියක තබා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට පිළිගැන් වූහ. එසේ කියන්නේ දෙදෙනා වෙනම තරඟ නොකර එක්ව තරඟ කළේ නම් දෙදෙනා ලැබූ ඡන්ද ප්‍රමාණය ජවිපෙ නායකයා ලැබූ ඡන්ද ප්‍රමාණය අභිබවා යන නිසාය. දෙවැනි මනාපය නොසැලකීම ද එවැනිම දුර්වලකමකි.


දෙවැනි මනාපය සලකුණු කිරීම සඳහා තම ඡන්දදායකයන් දැනුවත් කිරීමට හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක යන දෙදෙනාම නැඹුරු වූයේ නැත. එනිසා එම දෙදෙනාම පරාජය වී මාලිමාවේ අපේක්ෂකයාට ජයග්‍රහණය ලැබීමේ මාර්ගය විවර විය. ජනපතිවරණය ආසන්න වෙද්දී ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත් එකතු කිරීම සඳහා යම් වෑයමක් දැරී තිබුණ ද එය ඵල දැරුවේ නැත. එහෙත් රනිල් සහ සජිත් අතර අනෝන්‍ය එකගතාවකට එළඹ දෙවැනි මනාපය එකිනෙකා අතර සලකුණු කර ගැනීමට ඡන්ද දායකයන් පෙළඹුවේ නම් තුන්වැනි තැනට පත් වූ හිටපු ජනපති රනිල්ගේ ලක්ෂ විසි දෙකක ඡන්ද ප්‍රමාණය දෙවැනි වටයේ දී විපක්ෂනායක සජිත් ජයග්‍රහණය කරා ගෙන යාමට සමත්වනු නිසැකය.


තිදෙනකු තරඟ කිරීම නිසා මෙවර ඡන්ද ප්‍රතිඵලයේ පළමු වටයේ දී ජයග්‍රාහකයාට ඇත්තේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතයකි. දෙවැනි සහ තුන්වැනි ස්ථාන ගත් අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද ප්‍රමාණය එකතු කළ විට පළමුවැන්නාට වඩා වැඩි ඡන්ද නව ලක්ෂ පනස්හත්දාහක් තිබේ. ඒ අනුව බැලූ බැල්මට ජයග්‍රාහකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද සංඛ්‍යාවක් ඔහුට විරුද්ධව තිබේ. එම දෙදෙනා එකතු වී තරඟ කළේ නම් පළමුවැන්න ජයග්‍රහණය කරන්නේ නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය. මෙවැනි තත්වයක් උද්ගත වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සහ නියෝජ්‍ය නායකයාට එකතු වී තරඟ කිරීමට බැරි වූ නිසාය. බල ලෝභය මිස අන් වචනයක් එයට සොයා ගැනීම උගහටය. විපක්ෂනායකවරයාගේ කතා ශෛලීය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේ සිටම බොහෝ දෙනාගේ විවචේනයට ලක්විය. ඔහු පමණට වඩා කතා කරන බව සමහරු කීහ. ජනප්‍රිය කථිකයකු යොදාගෙන මැතිවරණ තුළ ආමන්ත්‍රණය කරමින් තමා අඩුවෙන් කතා කළේ නම් විපක්ෂ නායකවරයාට මෙම විවේචනයෙන් ගැලවීමට ඉඩ තිබිණ.




විපක්ෂ නායකවරයා එජාප මව් පක්ෂයෙන් ඉවත්ව සමඟි ජනබලවේගය නිර්මාණය කරමින් ඉවතට යද්දී එජාපයේ පැරණි ආසන බලකොටු සියල්ල ද ඔහු අතට පත්විය. සජබය වෙත ඇදී ආවේ පැරණි එජාප සාමාජිකයාය. මෙම මැතිවරණයේ දී ඔහු දිනාගත් සෑම ආසනයක්ම පැරණි එජාප බලකොටුය. එජාපයේ වෘත්තීය සමිති ගණනාවක් ද එජාපයට අහිමි වූයේ මෙම බෙදීමෙනි. එජාපයේ සමාන්තර පැරණි හිතවත් පක්ෂ ද විපක්ෂ නායකයා සමඟය. එජාප නායකයා ජනපතිවරණයට පැමිණෙද්දී පක්ෂයේ තිබූ ශක්තිමත් යාන්ත්‍රණයට අයත් අංශ සියල්ල දුර්වල වී බිඳ වැටී ගොසිනි. එනිසා එජාපයේ සහායක් ඔහුට මෙම ජනපතිවරණයේදී නොලැබුණේය. ඔහු ඉදිරිපත් වූයේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය. එමඟින් ඔහු කාත් කවුරුත් නැති අසරණයකුගේ තත්වයට පත් කර තිබිණි. ජනතාව ඡන්දය දීමේදී පක්ෂය ගැන ද සොයා බලන අතර ස්වාධීන අපේක්ෂකයන් ජනාධිපති වූ ඉතිහාසයක් අප රටේ නැත. ජනාධිපතිවරයාගේ ඡන්ද පදනම ශක්තිමත් නොවීමට මෙයද එක් හේතුවක් විය.


බැසිල්ගේ ඉල්ලීම ඉටු කළා නම්?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකව සිටි බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ඉල්ලීම වූයේ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන ලෙසය. එහෙත් හිටපු ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තීන්දුව ගත්තේය. එම තීන්දුව වැරදි බව මේ වනවිට ප්‍රායෝගිකව ඔප්පු වී තිබේ.


පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් ප්‍රධාන ධාරාවේ සියලු පක්ෂවලට තනි තනිව හෝ එක්ව මහ මැතිවරණයට තරඟ වැඳීමට සිදුවෙයි. ඒ සඳහා සියලු පක්ෂවලට මෙන්ම දේශපාලකයන්ට දැඩි ලෙස මහන්සි වීමට සිදු වෙයි. උතුරේදී දෙමළ සංවිධානය වෙනම ද දකුණේදී ආණ්ඩු පක්ෂය ලෙස පොහොට්ටුව ද, සජබද, එජාපයද, ජවිපෙද තම තමන්ගේ ජයග්‍රහණය සඳහා දැඩි සටනක නිරත වනු ඇත. මහ මැතිවරණයක ඡන්ද හැසිරීම ජනපතිවරණයක ඡන්ද හැසිරීමට වඩා වෙනස්ය. ජනපතිවරණයකදී සියලු ඡන්ද එකට ගොනුවන අතර මහ මැතිවරණයකදී ඒ ඒ ආසනවල ඡන්ද සංඛ්‍යා වෙනස්ය. ඒ ඒ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය ජාතික ලෙස එකතු වන්නේ නැත. පක්ෂ ගණනාවක් තරඟ කරද්දී මන්ත්‍රී සංඛ්‍යාව ද බෙදී යයි. එහිදී අවසානයේ පාර්ලිමේන්තුවට පත්වීමට තිබුණේ බහුතරයක් නොමැති කණ්ඩායම් කිහිපයකට බෙදී ගිය මන්ත්‍රී පිරිසකි. එවැනි විටක හවුල් ආණ්ඩුවක් හෝ සභාග ආණ්ඩුවක් බිහි වීමේ ඉඩකඩ ඉතා වැඩිය. ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන්නේ ඉන් පසුවය. එහිදී බොහෝ පක්ෂ හෙම්බත් වී සිටින අතර හිටපු ජනාධිපතිවරයාට කුමක් හෝ වාසිදායක ගනුදෙනුවකට යෑමට ඉඩ තිබිණ.




ජනාධිපතිවරණයක දී ජයග්‍රාහකයා ජනපති වන අතර තරඟ වැදුණු සෙසු පක්ෂවල ඡන්ද අපතේ යයි. එම ඡන්දවලට මන්ත්‍රී ආසන ප්‍රමාණයක් හෝ වෙනයම් ප්‍රතිලාභයක් හෝ ලැබෙන්නේ නැත. දුර්වල තත්වයකට සිටි හිටපු ජනාධිපතිවරයාට තෝරා ගැනීමට තිබුණේ ජනාධිපතිවරණය නොව පාර්ලිමේන්තු මහ මැතිවරණයකි. එහෙත් එය සිදු නොවන හෙයින් දැන් ලැබී ඇති ප්‍රතිඵලය හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ සගයන්ට මාරාන්තිකය. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හිටපු ජනපතිවරයාට යෝජනා කළ පළමුව මහ මැතිවරණයක් කැඳවන ඉල්ලීමට බාධාව වූයේ පොහොට්ටුවෙන් හිටපු ජනාධිපතිවරයාට ළංවී සිටි ඇමැතිවරුන් කණ්ඩායමය. හිටපු ජනපතිවරයා බැසිල්ගේ යෝජනාවකට නැමියාවක් දැක්වුව ද පොහොට්ටුව තුළ ‘රනිල්ගේ පුතාලා' ලෙස හැඳින් වුණු කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් පිරිස කියා සිටියේ මහ මැතිවරණයක දී තමන්ට පොහොට්ටුවෙන් ඇතිවන කෙණෙහිලි නිසා තමන්ට යළිත් තෙරී පත්වීමට නොහැකි වන බවය. මේ නිසා බැසිල් රාජපක්ෂගේ මහ මැතිවරණ ඉල්ලීම අතහැර දමන්නට හිටපු ජනාධිපතිවරයාට සිදුවිය. එනිසාම බැසිල් ඇතුළු පොහොට්ටුව හිටපු ජනපතිගෙන් ඉවත්ව ගියේය.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයෙන් පහ කළ දැවැන්ත මහජන නැගිටීමේ ප්‍රතිඵලයක් ලෙස අනුප්‍රාප්තික ජනාධිපති පුටුවට නැගුණු වික්‍රමසිංහ ජනාධිපතිවරයා එතැන් සිට කටයුතු කළේ අරගලය කුඩුපට්ටුම් කරමිනි. අරගලයෙන් පොදු ජනතාව දුන් පණිවිඩය ඔහු සහ ඔහුගේ රජය තේරුම් ගත්තේ නැත. රාජපක්ෂලාට නඩු පැවරුණේ නැත. ජනතාව එවැන්නක් බලාපොරාත්තු වුවද පැරණි පාරේම නව රජය ද ගමන් කරන්නට පටන් ගත්තේය. ජනතා විරෝධයට ලක්වූ එක් අංගයක් වූයේ රාජපක්ෂ යුගයේ පැවැති අති විශාල කැබිනට්ටුවටය. වික්‍රමසිංහ රජයට ද එම කැබිනට්ටුවේ පැරණි මුහුණ ඉවත් කර නවක මුහුණු ඇතුළත් කරගනිමින් දැවැන්ත කැබිනට්ටුවක් පවත්වාගෙන ගියේය. එම තීන්දුව ජනතාවගේ දැඩි විරෝධයට හේතු වී තිබුණි.

හිටපු ජනාධිපතිවරයාගේ පරාජයට තවත් හේතුවක් වූයේ ඔහු පිළිබඳව ජනතාව තිබූ සැකය සහ බියය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු එම පුටුවට පත්වූ රනිල් ඉන්පසු හැසිරුණේ ඉදිරියේ දී ඡන්දයක් නොඑළඹෙන ගානටය. වෘත්තීය සමිති උද්ඝෝෂණවලට පහර දුන්නේ පැරණි එජාප පාලන සමය සිහි ගන්වමිනි.


එවැනි පහරක් වැදුණු එක් කණ්ඩායමක් වන්නේ රජයේ ගුරුවරුන්ය. කොළඹ පැවැති උද්ඝෝෂණයක දී කඳුළු ගෑස් පහරට ලක්වූ ඔවුන්ගේ දැඩි විරෝධයක් සමාජ මාධ්‍ය පුරා දක්නට ලැබිණි. රනිල් යුගයක් එළඹුණහොත් රාජ්‍ය සේවය අඩුකර රාජ්‍ය ආයතන විකුණා දමනු ඇතැයි බොහෝ දෙනා බියවී සිටියහ. තැපැල් ඡන්දවල ජයග්‍රහණය මාලිමාවට ලැබුණේ ඒවායේ ප්‍රතිඵලයක් වශයෙනි. ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හිටපු ජනාධිපතිවරයා සාර්ථකත්වයක් ගැන උදම් ඇනුවද ඡන්ද දායකයන් බොහෝ දෙනා එය නොතකා හැර ඇත.


රජය ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ සාමාන්‍ය මහජනතාවට තේරුම් ගත නොහැකි එමෙන්ම ඔවුන්ගේ එදිනෙදා ජීවන වියදම තව තවත් වැඩිවන බදු බර ආදියෙන් පිරී පැවතුණි.

ඒ නිසා ආර්ථිකය යථාවත් කළ බවට හිටපු ජනපතිගේ ප්‍රචාරක ව්‍යාපාරය ජනතාව පිළිගත්තේ නැත.

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් රජය සාර්ථකත්වයක් ලැබූ බවට හිටපු ජනපති උදම් ඇනුවද පොදු මහජනතාව එය සැලකුවේ තවත් දිගු කාලයකට රට ණය කන්දක ගිල්වා දැමූ වෑයමක් හැටියටය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම පුටුවට පත් වූ පසු සිදුකළ බදු වැඩිකිරීම් හා සහනාධාර සහ සුබසාධන කප්පාදුව නිසා බොහෝ දෙනා සිටියේ ජීවිතය ගැටගහ ගන්නට යත්න දරමිනි. හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයට එම පොදු ජනතා ප්‍රශ්න තේරුණේ නැත. ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කර ආර්ථිකය ගොඩගත් බව ඔහු පැවසුවද තමන් දිනෙන් දිනට ආර්ථික අර්බුදයේ එරී යන බව ජනතාවගේ විශ්වාසය විය.


ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය කඩා වැටෙන්නට පටන් ගත්තේ ඔහු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් අනූ දෙනකු තමා ළඟට ගත් පසුවය. මහින්ද රාජපක්ෂ පිහිටු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උද්යෝගිමත් පාක්ෂිකයන් වූ මේ පිරිස අතර අරගල සමයේ විරෝධාකල්පවාදීන්ගේ දැඩි විරෝධයට ලක්වූ බොහෝ පිරිසක්ද සිටියහ. ඒ වනවිටත් ජනතාව කියමින් සිටියේ ‘කවුරු ආවත් හොර නඩේ නම් එපා' යනුවෙනි. මේ පිරිසි එකතූ කර ගත් දවසේ බොහෝ ජනතාව එම තීන්දුව විවේචනයට ලක්කළ බව රහසක් නොවේ. පොහොට්ටුව දෙකඩ කරමින් එම පිරිස තමා ළඟට ගැනීමෙන් ජනාධිපතිවරයා ඡන්ද පනස් ලක්ෂයක් පමණ බලාපොරොත්තු වුවද එකී අරමුණ ඉටුවී නොමැති බව ඉතා පැහැදිලිය. හිටපු ජනාධිපතිවරයාට ලැබුණු ඡන්ද විසි දෙලක්ෂය සමඟ සසඳා බැලීමේ දී පොහොට්ටු මන්ත්‍රීවරුන් ඡන්ද එතරම් නොගෙනා බව පිළිගැනීමට සිදුවෙයි. ගෙන ආවා නම් ඒ ඉතා සුළු ප්‍රමාණයකි. එහෙත් මෙවැනි තීන්දු නිසා හිටපු ජනාධිපතිවරයා අතහැර ගොස් ඇති පිරිස එයට වඩා විශාල සංඛ්‍යාවකි.


හැටනව ලක්ෂය


මැතිවරණ කාලය පුරාම ජවිපෙත් සජබයත් නිරතව සිටියේ රටේ පැවැති ආණ්ඩු විරෝධී ඡන්ද ප්‍රමාණය දිනා ගැනීම පිළිබඳ සටනකය. ආණ්ඩු විරෝධී ඡන්ද ඉතා විශාල ප්‍රමාණයක් රට තුළ සංසරණය වෙමින් පැවතුණි. මෙම ඡන්ද ජවිපෙ හෝ සජබයේ ස්ථාවර ඡන්ද නොවූ අතර ගෝඨාභයට ලැබී තිබූ ඡන්ද ප්‍රමාණයයි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඡන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගැලවී අවකාශයේ පාවෙමින් තිබුණේය. එම ඡන්ද දිනා ගන්නා තැනැත්තාට දිනුම හිමි වීමට නියමිත හෙයින් එම පක්ෂ දෙකම සටන් කළේ එකී ඡන්ද ප්‍රමාණය අල්ලා ගැනීම සඳහාය. මැතිවරණයක් පවතින විට සාමාන්‍යයෙන් පවතින පාවෙන ඡන්ද ප්‍රමාණයට වඩා මෙම ඡන්ද ප්‍රමාණය විශාල විය. අවසානයේ එම ඡන්ද ප්‍රමාණය ජවිපේ නායක අනුර දිසානායකට හිමිවිය.


ඊළඟ ඡන්ද පොකුර වූයේ අරගලයේදී කැඩී ඉවත නොගොස් පොහොට්ටුව තුළම රැඳී තිබූ පැරණි ශ්‍රීලනිප ඡන්ද ප්‍රමාණයයි. කිසිදා එජාපයට ඡන්දය නොදුන් මෙම පිරිස සැලකුණේ කැපුවත් නිල් ශ්‍රී ලංකාකාරයන් හැටියටය. එජාපයේ උදව්වෙන් ජනපති පුටුවට නැගගත් මෛත්‍රීපාල සිරිසේන ඉන්පසුව ශ්‍රීලනිප සභාපතිවරයා වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලනිපය හැර ගොස් අලුතෙන් පිහිටු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැඳී තිබූ මෙම ශ්‍රීලනිප ඡන්ද ආණ්ඩු පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහට වෙතැයි මත පළ වී තිබුණ ද එම ඡන්ද සම්පූර්ණයෙන්ම හිමි වූයේ මාලිමා අපේක්ෂක අනුර දිසානායකට බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යයි.


අවසානයේ බලන විට ලක්ෂ හතර හමාරක ඡන්ද සංඛ්‍යාවක් තිබූ ජවිපෙ නායකයාට මෙවර ජනපති වීම සඳහා ලැබී ඇති ප්‍රධාන ශක්තිය පොහොට්ටුවට ලැබී තිබූ හැටනව ලක්ෂයේ ඡන්ද ප්‍රමාණය බව පෙනී යයි. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර බෙදී ගොස් ඇත්තේ එජාපයට අතීතයේ හිමිව තිබූ ඡන්ද ප්‍රමාණයය.


ප්‍රේමකීර්ති රණතුංග