ranil-speaks

 ඔබ ජනපති ධුරයට පත්වුණොත් නව ආණ්ඩුව පිහිටුවීමට සිදුකරන වැඩපිළිවෙළ කුමක්ද?


දැනට පැහැදිලිවෙලා තිබෙනවා සෑම පැත්තකින්ම. මට පේන්නේ මෙතන ප්‍රධාන කාරණය තියෙන්නේ මේ ක්‍රමවේදය ඉදිරියට ගෙන යනවාද? නැතිනම් මොකක්ද වෙන්නේ කියන එක. ආණ්ඩුවක් ආවම ඉතිරි ටික කරන්න තියෙන්නේ. අපි කොච්චර කතා කළත් හොරු අල්ලන එක ගැන කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙන්නේ ‘පුළුවන් ශ්‍රී ලංකා' එකෙන් විතරයි. නීති පද්ධතියක් නැතුව මේක නැති කරන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිම ප්‍රශ්නයක් නෑ.

කරගෙන යනවා. දැන් තියෙන්නේ කරගෙන ආපු දේ ඉදිරියට කරගෙන යනවාද, නැද්ද කියන එක. ඒ වගේම අනිත් අයගේ විකල්පය මොකක්ද කියලා. අසීරුම අඩියේ තිබ්බ රට දැන් සාමාන්‍ය තත්ත්වයට මම ගෙනාවා, රටේ ඉදිරි දියුණුවත් ළඟා කරගන්න අපිට පුළුවන්.




2 රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ප්‍රමුඛතා මොනවාද?


අයි.එම්.එෆ්. එකඟතාව අනුව වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව තමයි අයවැයක් සකස් කරලා තියෙන්නේ 2025ට. අපේ අයවැය අනුව ආදායම්, වියදම් අතර හිඟය රුපියල් බිලියන 1000යි. ඒ1000 අපිට ණය හැටියට ගන්න පුළුවන් වෙළඳ පොළෙන්. දළ දේශීය නිෂ්පාදනයෙන් 05%ක් වෙනකන් ණය ගන්න පුළුවන්. මේක ඇත්තටම 5.1%ට තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ නෑ අයවැය කොහොමද කියලා. මේ අයි. එම්.එෆ්. ගිවිසුම කැඩුණොත් ඩොලර් එක 500ටවත් යයි. එච්චරයි වෙන්න යන්නේ. අපි ලබාගත්ත ජයග්‍රහණය ආරක්ෂා කරගන්න ඕනි. මේ අය කියනවා ජයග්‍රහණ නෙවෙයි කියලා. මේ ප්‍රශ්නයට අනිත් අය පිළිතුරු දෙන්න ඕනි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ 103 පිටුවේ තියෙනවා බදු අඩු කරන්නේ කොහොමද කියලා. අයි.එම්.එෆ්. යෝජනා පිළිගන්නේ නැතිනම් අපි ආයේ යනවා 2022 මැයි මාසයට. දැන්ම ඉඳන් පෙට්‍රල්, ඩීසල් අරන් තියාගන්න.




3 ජනතාවගේ බදු බර අඩු කරන හා ජීවන වියදම අවම කරන ජනතා සහන ලබා දීමට සිදුකරන ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද?


ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. 103 වැනි පිටුවේ තියෙනවා කොහොමද බදු බර අඩු කරන්නේ කියලා.


4 ඔබගේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය කෙසේද? අගමැතිවරයා කවුද?


දැන් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද තියෙන කෙනා තමයි අගමැති. ඊළඟ පාර්ලිමේන්තුවේ බහුතරයේ සහාය තියෙන කෙනා තමයි අගමැති. ඒක ව්‍යවස්ථාවෙත් තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්නේ කවුද කියලා මම දන්නේ නෑ. ඡන්දේ තියනකන් දැන් ඉන්න කැබිනට් එකත් එක්ක දුවනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා මම දන්නේ නෑ. කවුද මිනිස්සු එවන්නේ, මොන පක්ෂෙන්ද එවන්නේ කියලා මම දන්නේ නෑ. එන අය එක්ක මම වැඩ කරනවා.


5 අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳක්‍රියාකරන ආකාරය කෙසේද?


මේ ක්‍රමය ඉදිරියට ගෙනියනවාද නැද්ද කියන දේ දැන් තියෙන්නේ. අයි.එම්.එෆ්. එක්ක එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක තියා ගන්නවාද, නැද්ද කියන එක තමයි දැන් ප්‍රශ්න. අපි ලබාගත්ත ජයග්‍රහණය ආරක්ෂා කර ගන්න ඕනි. අයි.එම්.එෆ්. සහනය නැතිනම් අපිට ඩොලරයකට රුපියල් 500ක් ගෙවන්න වෙනවා. 500 රැකගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. සමහර විට 600ත් පනියි. අයි.එම්. එෆ්. සංවිධානය කියන්නේ කවුරු ආණ්ඩුවට පත් වුණත් මේ එකඟවෙලා තියෙන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනි කියලා.


6 ඇමෙරිකාව, ඉන්දියාව, චීනය  හා රුසියාව යන මහ බලවතුන් සමග ගනුදෙනු කිරීමේ ක්‍රියා පිළිවෙළ කුමක්ද?


අපි නොබැඳි ජාතීන්ගේ රාජ්‍යයක්. අවුරුදු 20-30ක් අපි වැඩ කරගෙන ආපු ක්‍රමයක් තියෙනවා. අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා, ඒ රටවලට හානි නොවන විදියට අපි කටයුතු කරනවා.


අපි දැනට ඇමරිකාවත් එක්ක වෙළෙඳ ගිවිසුම් අත්සන් කරලා නෑ. ඉන්දියාවත් එක්ක කරනවා. චීනයත් එක්ක කරනවා. ඒ වගේම මැලේසියාව, ඉන්දුනීසියාව එක්ක කළා. ජපානයත් එක්කත් කරනවා. ඒ වගේම අපේ මුහුදු සීමාව ඇතුළෙ ගැටුමක් නොවෙන්න අපි කටයුතු කරනවා. අපේ මුහුදු සීමාවෙන් පිටත් ගැටුම් ඇති වෙලා නෑ. බල තරගයක් තියෙනවා ඒත් ගැටුම් නෑ.




7 රට සංවර්ධිත රාජ්‍යයක් කරා මෙහෙයවීමේදී ලබාදෙන ප්‍රමුඛතා මොනවාද?


කෘෂිකර්මය නවීකරණය කරන්න, සංචාරකයන් දෙගුණයක් කරන්න, සූරිය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න, ආයෝජන කලාප ඇති කරන්න. මම බැලුවේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා කළා වගේ විශාල වැඩ කරන්න. එක එක අමාත්‍යාංශවලට වැඩ පවරනවා. මහවැලිය අවුරුදු 30න් කරන එක අවුරුදු 10න් කළා. ගෙවල් හැදුවා. කෝට්ටේ අගනුවර කළා. වෙළඳ කලාප දෙකක් දැම්මා.


8.පළාත් සභා ක්‍රියාත්මක කරනවාද? ක්‍රියාත්මක කරනවා නම් ඒ කෙසේද?


13 වැනි සංශෝධනය ගැන විශාල ප්‍රශ්නයක් නෑ. ක්‍රියාත්මක කරන එක තමයි තියෙන්නේ. ජනාධිපතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න කියලා ගොඩ දෙනෙක් කියනවා. ඒ ගැන පක්ෂ නායකයන් සමග කතා කරලා බලන්න ඕනි. ඊට පස්සේ අපි පළාත් සභා මැතිවරණය තියෙනවා. දැන් රටේ ප්‍රශ්න විධායක ජනාධිපති ක්‍රමය නෙවෙයි. රටේ මිනිස්සු ඒ ගැන හිතන්නෙත් නෑ. මේවා නිසා අපි ආර්ථිකය අමතක කරලා. මම ඇවිල්ලා මැදට දාලා තියෙන්නේ ආර්ථිකය. විධායක ජනාධිපති ක්‍රමය, 13වැනි සංශෝධනය මේවා නිකන් බොරුවට ඇදගෙන යන ඒවා ඇත්ත ප්‍රශ්න වහන්න. විධායක ජනාධිපති වුණත්, අගමැති වුණත්, මහ ඇමති වුණත් රජ්ජුරුවෝ වුණත් මේකෙනෙ මිනිස්සු ජීවත්වෙන්නේ. ඇත්තටම මේවගෙන් අපේ ඇත්ත ප්‍රශ්න වහගෙන තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මට කිව්වා මෙතන වාඩි වුණාම කවුරුත් මේක වෙනස් කරන්න යන්නේ නෑ කියලා. මේ මොන ප්‍රශ්න ගැන කතා කරත්, උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ කාට ඡන්දය දෙනවා කිව්වත් මටත් සහාය වන මන්ත්‍රීවරු ඉන්නවා. මේක දිනන්නේ මම. වෙන කවුරුවත් නෙවෙයි.


9.දූෂණය වැළැක්වීම හා දූෂිත යැයි කියූ අයට දඬුවම් ලබාදීම කරන්නේ කෙසේද?


අපි දූෂණ විරෝධී නීතිය ගෙනාවා. ඒක දිව්‍ය ලෝකයෙන් වැටුණේ නෑ. ඒ වගේම අපරාධයෙන් අත්පත් කරගත් දේපළ ආපසු ලබාගැනීමේ කෙටුම්පත සම්මත කර ගන්න තියෙනවා. ඊළඟට අවුරුදු 05ක දූෂණ විරෝධී සැලැස්ම හදන්න තියෙනවා 2025දී. සමාගම් නීතිය, ඒ වගේම තවත් නීති ගණනාවක් ගේන්න තියෙනවා. තවත් නීති 05ක් පමණ සංශෝධනය කරන්න තියෙනවා. මේ සෑම එකක් කරාම තමයි අපිට ඕනි නීති රාමුව තියෙන්නේ. මේක හදලා දීලා තියෙන්නේ අයි.එම්.එෆ්. එක. ඒවා තමයි චීන අවුරුද්දේ මූලික කාරණා වෙලා තියෙන්නේ. මෙය සම්මත කර ගන්න ඕනි. ඒ වගේ දේවල්වලට අපේ අය මුහුණ දෙන්න ඕනි. ඒකටත් ලෝක බැංකුව උදව් දෙනවා. සමහර අයට පිටරට ගිහින් මාස 06ක් පමණ මේ ගැන පුහුණුව ලබාගෙන එන්න වෙයි. අනික අපි දැන් කරන ආදායම් බදු ක්‍රමය නිසා මිනිස්සුන්ව බදු දැලට ඇතුල් වෙනවා. පක්ෂ දෙකම කතා කරන්නේ එක නීතියක් ගැන. ඒ නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්. හොරු අල්ලනවා කියලා බොරුවක්නේ කරන්නේ. ඒ අය කියන්න ඕනි අයවැයට අවශ්‍ය මුදල් හොරු අල්ලලා ගන්නවා කියලා. දැනට කවුරුවත් නෑ කියනවා. 2025දී කවුරු හරි හොරු අල්ලනවා කියලා හිතමු. නඩු අහලා ඉවර වෙලා, ඇපැල් අධිකරණයේ නඩු ඉවරවෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් එන්න අවුරුදු කීයක් යයිද? අවුරුදු 6-7ක් යයි. ඒ අනුව 2025දී හොරු අල්ලලා සල්ලි ගේන්න බෑ. 2026, 2027, 2028ත් බෑ.


10.ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සෑදීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?


දැන් ඒ සියල්ල අයි.එම්.එෆ්. එක හුරු කරගෙන යනවා. මේ සියල්ල නවීකරණය කරන්න යෝජනා තියෙනවා.


( දිනේෂ් සමරකෝන්)