rice-price

නව රජයට සහාය දැක්වීමක් වශයෙන් සියලුම වර්ගවල සහල් රජයේ පාලන මිලට අලෙවි කිරීමට කටයුතු කරන බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.ඩඩ්ලි සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ පොළොන්නරුව නවනගරය සුදු අරලිය හෝටලයේ දී ය.මෙම සාකච්ඡාවට මහා සංඝරත්නයද වැඩමකර සිටි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවල නියෝජිතයෝ ද සහභාගි වූහ.


මෙහිදී වැඩිදුරටත් කථා කළ ඩඞ්ලි සිරිසේන මහතා රජයේ පාලන මිලට සහල් අලෙවි කිරිමට සහල් මෝල් සංගමයේ සභාපති වර්ණ ගයාන් රංජිත් යන මහතා ඇතුළු සහල් නිෂ්පාද ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව පැවසීය.ඔහු මෙසේද කීය.


“අපට නාඩු සහල් කිලෝවක් රුපියල් 220ට දෙන්න අපහසුයි.

නාඩු වී මිටියක් අපි ගන්නේ රුපියල් 7800 කට. එවිට නාඩු වී කිලෝවක් රුපියල් 122ක් වෙනවා. ලාබ වුණත් පාඩු වුණත් ලබන ජනවාරි මාසේ 20 දින දක්වා සහල් කිලෝවක් රුපියල් 220 ක් වන රජයේ පාලන මිලට අලෙවි කිර්මට කටයුතු කරනවා. සහල් මිල වැඩිවී ඇති බව පවසන පුද්ගලයන් සිගරැට් එකක් රුපියල් 150ක් දීලා ගන්නවා. සහල් කිලෝවක් රුපියල් 250 කට ගන්න බැරි පුද්ගලයන් ද අප අතර සිටිනවා .


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ රජයට සහාය දැක්වීමක් වශයෙන් සහල් මිල අඩුකර දෙන්න අදහස් කළා. අලුත් පාර්ලිමේන්තුවක් සැදී අලුත් රජයක් යටතේ ගොවිතැන් කටයුතුවලට සහනයක් සලස්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

නාඩු වී මිල පහත බැස කීර් සම්බා වී මිල වැඩි වුණාම ගොවි මහතුන් වැඩි වශයෙන් ඒ කන්නයේ කීර් සම්බා වැඩියෙන් වගා කරනවා. නාඩු වී අඩු වුණාම නාඩු වී මිල වැඩි වෙනවා . මිල ඉහළ පහළ යන්නේ මේ වගා පිළිබඳ ගොවි මහතුන් දැනුවත් වීමක් නොමැති නිසයි.
නිමල් ජයරත්න


වී වගාව ක්‍රමවත්ව සැලසුම්කර කළ යුතුයි. ඒ සඳහා මෙතෙක් පැවැති රජයන් කිසිදු වැඩපිළිවෙළක් සැලසුම්කර නැහැ.”දේශපාලනය කරන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයකට පිළතුරු දුන් ඩඩ්ලි සිරිසේන මහතා “අවුරුදු 64ක් තිස්සේ දේශපාලනය නොකළ මට දේශපාලනයට එන්න කියා හීනයකින්වත් පෙනුණේ නැතැ”යි සඳහන් කළේය.