rmv-incident

 රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පක්ෂණයට පෙර යතුරුපැදියක් පැද පුහුණුවීමේ චෝදනාව යටතේ පුද්ගලයෙකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04දා) තීන්දු කළේය.මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයාට කිසිවකුගේ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට කිසිදු ආකාරයක බලයක් නොමැති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තිබියදී අදාළ යතුරු පැදිය අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රධාන පරීක්ෂකවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයිද තීන්දු කළේය.




රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා මෙන්ම රියදුරු පාසල් හිමිකරුවකු වන සුනිල් ජයන්ත මහතා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීන්දු කළේය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.


කඩුවෙල කොතලාවල පදිංචි රියදුරු පාසල් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සුනිල් ජයන්ත මහතා ගොනු කර තිබු පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂක ඒ.වයි.ඒ. අබේවර්ධන, නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස් සී.එච්.ආර්. ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සිව්දෙනකු නම් කර තිබිණ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප්‍රනාන්දු සහ දිලිප් නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති තීන්දුවේ යතුරුපැදි පැදවීමේ නිපුණතාව සහිත රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ අභිලාෂයෙන් පෙත්සම්කාර රියදුරු පුහුණු කිරීමේ ආයතනයක හිමිකරු විසින් නාවික හමුදාවට සම්බන්ධ පුද්ගලයන් 95 දෙනෙකු ඔහුගේ රියදුරු පාසල යටතේ 2012 අප්‍රේල් 9 වැනිදා ලියාපදිංචි කරගෙන ඇතැයි සඳහන් වේ.




රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ අභිලාෂයෙන් රියදුරු බලපත්‍ර අභ්‍යාසලාභීන් පරීක්ෂණය සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ භූමියට රැගෙන යන ලද බවත්, පක්ෂණයට පෙර එහි සිටි වසන්ත කුමාර නමැති අභ්‍යාසලාභියෙකු ඔහුගේ යතුරුපැදිය දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ යාර 100ක් පමණ ධාවනය කරන ලද බවත්, ඒ අවස්ථාවේදී පළමු වගඋත්තරකාර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා විසින් පරීක්ෂණයට පෙර පුහුණුවීම රෙගුලාසිවලට පටහැනි බව සඳහන් කරමින් වසන්ත කුමාර නමැත්තාගේ පරීක්ෂණය අවලංගු කර ඇති බවත් සඳහන් කළ පෙත්සම්කාර සුනිල් ජයන්ත මහතා ඉන් අනතුරුව වසන්ත කුමාර නමැත්තාගේ යතුරුපැදිය මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවත් සඳහන් කර ඇත.


සිද්ධියෙන් අගතියටපත් පෙත්සම්කරු මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් කළ බවත්,

සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළත් ඉන් පලක් නොවු බවත්, සඳහන් කරන පෙත්සම්කාර සුනිල් ජයන්ත මහතා ඉන් පසු මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ බවද සඳහන් වේ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පළමු වගඋත්තරකාර මෝටර් රථ ප්‍රධාන පරීක්ෂකවරයාට යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට කිසිදු ආකාරයෙන් බලයක් නොමැති බව පැහැදිලි බව තීන්දුවේ සඳහන් කළ විනිසුරු මඬුල්ල ඔහු කළ යුතුව තිබුණේ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ යතුරුපැදිය ධාවනය කිරීමේ ක්‍රියාවෙන් වසන්ත කුමාර නමැත්තා නැවැත්වීම පමණක් බවද තීන්දුවේ සඳහන් කළේය.


මේ තත්වය මත පළමු වගඋත්තරකාර මෝටර් රථ ප්‍රධාන පක්ෂකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩ කර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.පෙත්සම්කාර සුනිල් ජයන්ත මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියේය.පළමු වගඋත්තරකාර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අරුලානන්දන් මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු