මම දඹුල්ලට එනකොට දැක්කා, එදා අපේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට එලව එලවා ගහපු, ගෙවල් ගිණි තියපු, අත පය කඩපු,  කිරලගොල්ලේ දී මිනී මරපු මැරයින්ගේ ගෙදර ඉස්සරහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දැවැන්ත කටවුට් ගහලා තියෙනවා. මම හිතාගන්න බෑ මේකට මේවාට හිනාවෙනවා ද? අඩන්න ඕනි ද? කියලා. අද ජනක, ප්‍රමිත තෙන්නකොන්, රෝහණ දිසානායක ඉස්සරහට දාගෙන රනිල් වික්‍රමසිංහකරන මැතිවරණ ව්‍යාපාරයට ‘අනේ අපෝයි‘ කියනවා හැර වෙන කියන්න දෙයක් නෑ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඡන්දය පැරදිලා ඉවරයි.  ගාල්ලේ ඇල්පිටියේ පළාත් පාලන ඡන්දයක් තියෙනවා. අඩුම ගානේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් නාම යෝජනා බාර දෙන්න අද එජාපයට බැරිවෙලා තියෙනවා.  ප්‍රාදේශීය සභාවට තරඟ කරන්න බැරුව, රනිල් රටක ජනාධිපතිවරණයක් දිනන්නේ කොහොමද? යැයි කවිරත්න මහත්මිය ප්‍රශ්න කළේ, දඹුල්ල නගරයේ පැවති සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

මම මේ රැස්වීමේ වේදිකාවෙන් පහල ඉන්නකොට, මට මාමා කෙනෙක් කිව්වා නාවික හමුදාව ඉලක්ක කරගෙන දිගම්පතනේ 2006 ඔක්තෝබර් 16 වෙනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන.  ලබන මාසේ 16 වෙනිදට දිගම්පතනේ බෝම්බයට හරියටම අවුරුදු 18 යි.

එදා නාවික හමුදාවේ 126 ක් මැරුණා.  සෙබළු 300 ක් තුවාල ලැබුවා. ඒ බස් එක පුපුරවන්න බෝම්බය තිබ්බ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියා හංගගෙන හිටිය දඹුල්ලේ ගෙදරක කියලා මුළු දඹුල්ලම කියනවා.  නාමල් රාජපක්ෂ ඊයේ රට - ජාතික ගැන මහ ලොකු පම්පෝරියක් ගහලා තිබුණා.  නාමල් රාජපක්ෂට මම අභියෝගයක් කරනවා. පුළුවන් බාප්පාගෙන් ගෝඨාභය රාජපක්ෂ ගෙන් අහලා කියන්න දිගම්පතන බෝම්බකාරයා හංගාගෙන හිටපු දඹුල්ලේ ගෙදර කාගෙද කියලා.  දැන් එයා ඉන්නේ කාගේ ලඟද කියලා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් මම අභියෝග කරනවා, වේළුපිල්ලේ ප්‍රභාකරන් අල්ලාගන්න හදනකොට ඒක නවත්වන්න දුරකතන ඇමතුම් ආවේ කොයි ඇමතිට ද කියලා පුළුවන් නම් රටට කියන්න.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ‘නරියට කුකුල් කොටුව බාර දුන්නා වගේ‘ පවුලේ නෑ කමට  ආරක්ෂක ඇමතිකම මේ ප්‍රමිත තෙන්නකෝන් ට දුන්නා. එයා ආරක්ෂක ඇමතිකම කොච්චර හොඳට කරනවා ද කිව්වොත්, ආරක්ෂක හමුදාවල, පොලීසියේ තැපැල් ඡන්ද මුළුමනින්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබිලා තියෙනවා.

අද එක්සත් ජාතික පක්ෂය තියෙන්නේ කොළඹ ගෙවල් දෙකකයි, කාමර දෙකකයි විතරයි.  මහපොළොවේ නම් එක්සත් ජාතික පක්ෂයක් නෑ. දඹුල්ලෙත් නෑ. මාතලේ දිස්ත්‍රික්කයෙත් නෑ. 22 දාට බලාගන්න ඒ අයට පෙට්ටියේ ඡන්දත් නෑ.



ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රැස්වීමක් තියන්න හදනකොට ජවිපෙ මැරයෝ ගිහින් දරැවන්ගේ ඔළු ටික පළලා විශ්වවිද්‍යාලය වහලා දැම්මා.  ඡන්ද කාලයට කැම්පස් වහගත්තම තමයි, ජවිපෙ එකට පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න කොල්ලෝ ටිකක් හොයා ගන්න පුළුවන් වෙන්නේ.

ත්‍රස්තවාදියෙක් පෙන්නනකොට සිය ගානක් ෆේක් බුක් බලනවා තමයි. ප්‍රභාකරන් බලන්නත් රැට ලක්ෂ ගානක් රූපවාහිනිය බැලුවා. මේ ත්‍රස්තවාදියෝ මාතලේ මිනිස්සු 420 ක් මැරුවා. ලග්ගල එකම පවුලේ හය දෙනෙක් මැරුවා.   මාතලේ මේ ඝාතනවලට නායකත්වය දුන්නේ මුනිදාස කියන කෙනා.  එයාට දඹුල්ලේ අය කිව්වේ මුනී කියලයි.

මාතලේ අඹන්ගඟකෝරලේ ජවිපෙ ඇවිත් පෝස්ටර් අලවන්න ත්‍රීවීල් එක ඉල්ලලා තියෙනවා. ත්‍රීවිල් එක දුන්නේ නැති වුනාම දත් කැඩෙන්න ගහලා තියෙනවා.  මෙන්න ජවිපෙ අධිකරණය ගමට ගෙනියන ක්‍රමය. මේ ත්‍රස්තවාදියෝ දැන් මැතිවරණ මෙහෙයවනවා.

මතක තියාගන්න වැරදිලාවත් රටේ කරුමයට අනුර කුමාර බලය ගත්තොත් එදාට මේ රට මෙහෙයවන්නේ මෙන්න මේ ත්‍රස්තවාදී කාඩර් එක.  එදාට ඉස්සරවෙලාම කට වහන්නේ අද මාලිමාව වේදිකාවේ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ගේ.

අනුර කුමාර දිසානායකට ලොවෙත් ජනාධිපති වෙන්න බෑ.  එයා දිනුවාම සැප්තෑම්බර් 22 පාර්ලිමේන්තුව විසිරැවා හරිනවාලු.

අනුර ඔයා හොඳට මතක තියාගන්න, ඔයාට 22 සිද්ධ වෙන්නේ පක්ෂයේ නායකත්වය බිමල් රත්නායකට බාර දීලා ගෙදර යන්න වෙන එක කියලා.

අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊයේ කිව්වා බාර් පර්මිට් කාරයින්ට, කප්පං කාරයින්ට, කුඩු කාරයින්ට ඉඩ නෑ කියලා. මේ වේදිකාවේ එහෙම අයට ඉඩ තියෙනවා ද? නායකතුමනි, ඔබට හොඳ කණ්ඩායමක් ඉන්නවා. එක හරක් පැටියෙක්වත් ලඟට අරගෙන ඒකට ගොම බිංදුවක් එකතු කර ගන්න එපා මම මේ වෙළාවේ කියන්න ඕනි.  අපිට සජිත් ප්‍රේමදාස දිනා ගන්න ඕනි ඇයි? රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍ර ගන්නද? බාර් ලයිෂන් ගන්න ද? එතනෝල් බලපත්‍රය රැකගන්න ද? නෑ අපේ රටේ දරුවන්ට, කාන්තාවට, තරුණයින් යහපතක් කරන්න.  රට දිනවගන්න යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.