royal-sirimawo-20-lakhs

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසරට දැරීයක ඇතුළත් කිරීම සඳහා කටයුතු සලසා දීමට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ඉල්ලා ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු ඇතුළු පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20) නියෝග කළේය.
මූලික මිනිස් අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය අධිකරණ නියෝගයකින් කප්පාදු කිරීම නුසුදුසු බවට ප්‍රකාශ කරමින් සැකකරුවන්ට ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන පාසල් වලට මුදල් දී ළමයින් ඇතුළත් කිරීමේ ජාවාරමට විදුහල්පතිවරුත් සම්බන්ධ වී ඇත්නම් ඇප දීමෙන් බල පෑමක් විය හැකි බව ද පෙන්වා දුන්නේය.
රුපියල් 50,000/- බැගින් වන මුදල් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රත්වරයා නියම කළේය.
මෙලෙස ඇප නියම කරන ලද්දේ

කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු යැයි කියන අනුරුද්ධ ප්‍රදීප්, කොළඹ නගර සභාවේ සේවත නිශාන්ත ගුණවර්ධන හා සිවිල් පුද්ගලයන් වන මුල්ලේරියාවේ නිලන්ති මැණිකේ. ඇයගේ සැමියා වන පද්මලාල් සහ එන්. ෆොන්සේකා යන සැකකරුවන්ටය.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් පස්දෙනා නඩුව කැඳවූ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරිහු කරුණු දක්වමින් සිද්ධියට අදාළ අදාළ විමර්ශන කටයුතු අවසන් කර නැතැයි ද කොළඹ ප්‍රධාන පෙළේ පාසල් පහක විදුහල්පතිවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඇතැයි ද පැවසූහ.
කොළඹ තදාසන්න ප්‍රසිද්ධ පාසල් වලට ළමුයින් ඇතුළත් කිරීම

සඳහා වන අයැදුම්පත් ලිපිගොනු විශාල ප්‍රමාණයක් සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් පහක විදුහල්පතිවරුන්ගෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඇතැයි ද

මේ දිනවල ඡන්ද රාජකාරි සඳහා විදුහල්පතිවරුන් සහභාගි වී ඇති බැවින් ප්‍රකාශ සටහන් කිරීම ප්‍රමාද වූයේ යැයි ද කී අල්ලස් කොමිසමේ නිලධාරීහු සැකකරුවන්ට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑමක් විය හැකි බැවින් සැකකරුවන්ට ඇප නියම කිරීමට විරුද්ධ වන්නේ යැයි කීහ.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන ඇන්ටන් සේනානායක, දසුන් නාගස්සේන, අනුරාදි නාකන්දල සහ වීරසේන රණහේවා මහත්ම මහත්මින් කරුණු දක්වමින් විදුහල්පතිවරුන්ගෙන් හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමේ දී ඔවුන්ට බලපෑම් කිරීමට සැකකරුවන්ට
නොහැකි බැවින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ. සැකකරුවන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට ඇප ලබාදීම මේ අවස්ථාවේ දී කළ යුතු බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.
ඊට පිළිතුරු දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මුදල් ලබාගෙන ළමුයින් පාසල් වලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට විදුහල්පතිවරුන් සම්බන්ධ වී ඇත්නම් ඇප දීමෙන් සාක්ෂි වලට බලපෑමක් ඇතිවිය හැකි බව පෙන්වා දුන්නේය. අධිකරණ නියෝගයකින් මිනිසුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කප්පාදු කිරීම තුළ නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා මෙහි දී පැවසීය.
පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ ලේඛන නොව අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් සෘජුව දායක වී ඇති සැකකරුවන් කවුරුන්දැයි මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමෙන් වීමසා සිටියේය.
සැකකරුවන් සියලු දෙනා අතර බෙදී යන පරිදි ලක්ෂ විස්සක මුදල ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සියලු දෙනාට ඇප දීමට නියම කළේය.

(රෝෂන් තුෂාර)